“පොලිස්පතිට කියන්න” මහජන පැමිණිලි සේවාව 2026දී ප්‍රතිව්‍යුහගත කෙරේ!

මහජනතාවට තමන් මුහුණ දෙන සිදුවීම් හා පැමිණිලි සෘජුවම පොලිස්පතිවරයා වෙත මාර්ගගතව ඉදිරිපත් කළ හැකි “පොලිස්පතිට කියන්න” (Tell IGP) මහජන පැමිණිලි සේවාව 2026 වසර තුළ ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබේ.

මෙම සේවාව මඟින් දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් පුද්ගලයන්ටද සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම අන්තර්ජාලය හරහා තම පැමිණිලි හා තොරතුරු සෘජුව ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා ඇත.

සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්, විවිධ අපරාධ, රථවාහන වැරදි, මහජන පීඩා සහ දූෂණ ක්‍රියා සම්බන්ධ තොරතුරු මෙම ක්‍රමවේදය ඔස්සේ පොලිස්පතිවරයා වෙත සෘජුවම යොමු කළ හැකි බව පොලිසිය පවසයි.

ලැබෙන සෑම පැමිණිල්ලක්ම අදාළ පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත කඩිනමින් යොමු කරන අතර, එමඟින් අදාළ පොලිස් ස්ථානවල විමර්ශන නිලධාරීන් යොදවා අවශ්‍ය පියවර ගනු ලබයි.

එසේම, ඉදිරිපත් කළ පැමිණිල්ලකට සතුටුදායක විසඳුමක් නොලැබුණහොත්, එම මාර්ගගත පද්ධතිය හරහාම නැවත වරක් පොලිස්පතිවරයා සෘජුව දැනුවත් කිරීමේ පහසුකමද මෙම සේවාව තුළ ඇතුළත් කර තිබේ.

මහජනතාවට ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන https://www.police.lk/  වෙත පිවිස E-Service අංශයේ ඇති “Tell Inspector General of Police (Tell IGP)” සේවාව තෝරාගෙන පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. එසේම https://telligp.police.lk/ වෙබ් අඩවිය ඔස්සේ හෝ http://telligp@police.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනයට ද තම පැමිණිලි යොමු කළ හැකි බව පොලිසිය සඳහන් කරයි.

මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 48ක විශේෂ පුහුණුව ලැබූ පරිගණක ක්‍රියාකරුවන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක වන අතර, සමස්ත ක්‍රියාවලියම පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි.

Social Sharing
නවතම පුවත්