ඉරානයට තෙල් සම්බාධක ලිහිල් කිරීමට සහ ඩොලර් බිලියන 12ක වත්කම් නිදහස් කිරීමට ඇමෙරිකාව එකඟ වෙයි!

ඉරානයට පනවා තිබූ තෙල් සම්බාධක ලිහිල් කිරීමට මෙන්ම අත්හිටුවා තිබූ විදේශීය වත්කම්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක මුදලක් නිදහස් කිරීමට ද අමෙරිකාව එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, මෙම තීරණය හරහා ලැබෙන ආදායම් සහ නිදහස් කෙරෙන වත්කම් ඉරානය විසින් සිය මිලිටරි හැකියාවන් යළි ගොඩනැඟීම සඳහා නොව, එරට ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා යොදාගත යුතු බවයි.

ඉරානයට ලැබෙන එම ආදායම්වලින් ආහාර, ඉරිඟු ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන ඇමෙරිකානු ගොවීන්ගෙන් මිලදී ගැනීම අපේක්ෂා කරන බව ද ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබේ.

සාධාරණ ගිවිසුමක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සාර්ථක වූ බව පෙන්වා දුන් ඔහු, ඉරාන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා එම මුදල් භාවිත වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

වාර්තා වන අන්දමට, ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් කිරීම සහ විදේශීය වත්කම්වලින් කොටසක් නිදහස් කිරීම සඳහා අමෙරිකාව පියවර ගෙන ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය නිදහස්ව පවත්වාගෙන යාමට සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) නිරීක්ෂකයන්ට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට අවසර ලබාදීමේ එකඟතාව මත බවයි.

මෙම තීරණය මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව, බලශක්ති වෙළෙඳපොළ සහ ඉරාන-අමෙරිකා සබඳතා සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Social Sharing
නවතම පුවත්