රට තුළ ආර්ථික අර්බුදයක් ඇති වීමට ඉඩ තියන්නේ නෑ!

 

බලය ධනය සහ තරාතිරම නොබලා අද සැමට නීතිය ක්‍රියාත්මක වෙනවා ඉන්ධන ගෑස් කිරිපිටි සහ පොහොරවල හිඟයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ
2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළ ද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන බවත්, මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව තිබෙන තත්ත්වය බාහිර අර්බුදයක් වුවද එයද කළමනා කරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැඟීම මෙන්ම, ජාති වාදයට ඉඩ නොතැබීම, දූෂිතයන්ට දඬුවම් ලබා දීම සහ සැමට නීතිය සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩ නැඟීමත්, දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීමත් වත්මන් රජය බලයට පත් කර ගැනීමේදී ජනතාව ලබා දුන් ජනවරමේ අපේක්ෂාව වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජය මේ වන විට සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.

එමෙන්ම, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩ නැඟීමේ වගකීම තම රජය යටතේ ඉටු නොවුණහොත් වෙනත් කිසිදු රජයක් යටතේ එය ඉටු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අද බලය, ධනය සහ තරාතිරම නොබලා සැමට නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ද පෙන්වා දුන්නේය.
එසේම, විශ්‍රාම වැටුප ඇතුළු දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද අහෝසි කර දේශපාලකයා මහජනතාව වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ
(22) පෙරවරුවේ එක් වෙමිනි.

1999 වසරේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2014 සිට සම්පූර්ණයෙන් නතර වී තිබිණි. ඉතා පොහොසත් සංස්කෘතික උරුමයක් සහිතඅම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් මතු පරපුරට දායාද කිරීමේ අරමුණෙන් සහ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමකට අනුව වැඩ ආරම්භ කර වසර 24 කට පසුව යළි මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ වී තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 945.04ක් වන අතර එයින් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන 2026 අයවැය යටතේ වෙන්කර ඇත. ඉතිරි ප්‍රතිපාදන ද අවශ්‍යතාව පරිදි වෙන් කිරීමට නියමිත අතර ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් 2027-12-31 දින වන විට අවසන් කිරීමට නියමිතය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

” අපි ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක්. දිට්වා සුළි කුණාටුව හමුවේ මෙන්ම මැදපෙරදිග යුද තත්ත්වය හමුවේත් අපි ජනතාවට සහන සැලසීම වෙනුවෙන් විශාල මුදලක් වෙන්කළා. අපි රටේ ආර්ථිකය ශක්තිමත් කළා. එහෙත් මැදපෙරදිග කලාපයේ නැවත යුද තත්ත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉන්ධන ගෙන්වීමේදී ඩොලර් වල අගය ඉහළ ගියා. සියලු ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒ නිසා වැඩි ඩොලර් ප්‍රමාණයක් අද පිටතට ගලාගෙන යනවා. අපිට ඩොලර් එන්න තිබුණු සංචාරක කර්මාන්තයට බලපෑමක් ඇතිවුණා. ඇතැම් අපනයන ආදායම් වලට බල පෑමක් ඇති වී තිබෙනවා. අද රුපියලට සාපේක්ෂව ඩොලරය යම් ප්‍රමාණකින් ඉහළ යමින් තිබෙනවා. ඇතැමුන් කියනවා මේක 2022 වගේ කියලා. 2022 වගේ වෙන්නේ නැහැ. 2022 අපිට රුපියල් තිබුණේ නැහැ. 2022 මහ බැංකුවෙත් ඩොලර් තිබුණේ නැහැ. අද එහෙම නෙවෙයි, වෙළෙඳ පොළේ ඩොලර් හිඟයක් තිබෙනවා. මහ බැංකුවේ ඩොලර් මිලියන 7,000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එදා මහ බැංකුවේ තිබුණේ ඩොලර් මිලියන 50යි. හෙට අනිද්දා අපිට තවත් ඩොලර් මිලියන 700ක් ලැබෙනවා. එවිට සැලකිය යුතු ඩොලර් සංචිතයක් අපි ළඟ තිබෙනවා.

හැබැයි, ක්‍රමානුකූලව අපි රටේ ආර්ථිකය හැසිර විය යුතුයි. අපි කිසිසේත්ම ආනයනය කරන ඉන්ධන, ගෑස්, කිරිපිටි, පොහොර වල කිසිදු හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ. මම එය ඔබට සහතික වෙනවා. එදා ඉන්ධන නැතිව ගියා, කිරිපිටි නැතිව ගියා, ගෑස් නැතිව ගියා. පොහොර කොහොමත් නැතිව ගියා. එවැනි තත්ත්වයක් යළි ඇති වන්නේ නැහැ. එහෙත් අපිට යම් පීඩනයක් තිබෙනවා. අපි එය කළමනාකරණය කරගතයුතුයි. රට ඇතුළේ ප්‍රශ්නවලට අපි මුහුණ දුන්නා. දිවා වලට අපි මුහුණ දුන්නා. එය අභ්‍යන්තර ප්‍රශ්නයක්. හැබැයි, මෙය අපේ පාලනයෙන් තොර මැදපෙරදිග කලාපයේ තිබෙන යුදමය තත්ත්වයක්. මෙයටත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් බොහෝ අය මතවාද හදන්න හදනවා, මේක 2022 වගේමයි කියලා. එහෙම වෙන්නේ නැති බව ඔබ මතක තබා ගන්න. අපි ඒ ප්‍රශ්නය විසඳනවා. අපි රුපියල් උපයා තිබෙනවා. ඒ නිසා තමයි අද මේ ප්‍රදේශයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත මේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වෙනුවෙන් අපිට ප්‍රතිපාදන වෙන් කිරීමට හැකියාව ලැබුණේ.

උපුටා ගැනීම දිනමිණ

 

Social Sharing
නවතම පුවත්