දිට්වා ආධාර මුදලෙන් ලක්ෂ 10ක අල්ලස් ගත් ග්‍රාම නිලධාරීවරයෙකු ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්!

දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානි වූ නිවසක් වෙනුවෙන් රජය අනුමත කළ රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලින් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරීවරයා මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙකු වන අතර අනෙක් සැකකරු පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ සේවය කළ කම්කරුවෙකු බව වාර්තා වේ.

පැමිණිලිකාරියගේ නිවස දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත්වීම හේතුවෙන් රජය විසින් රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලක් අනුමත කර තිබූ අතර, එහි පළමු වාරිකය ලෙස 2026 අප්‍රේල් 10 වනදා රුපියල් ලක්ෂ 20ක මුදලක් නිකුත් කර ඇත.

එම මුදලෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් සැකකරුවන් විසින් අල්ලස් ලෙස ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තවද, ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත දෙවන හා තෙවන වාරික මුදල් නිදහස් කිරීමේදී ද ලක්ෂ 5 බැගින් අල්ලස් මුදල් ඉල්ලා ඇති බව ද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

Social Sharing
නවතම පුවත්