
නීතියට යටත් නොවන කිසිවෙක් සිටින්න බැහැ. මොන බලය තිබුණත්, මොන කාලයක් විරාජමානව වැජඹුණත්, මොන හස්තය තිබුණත් ඒ කිසිවක් අප සලකන්නේ නැහැ. වැරදි කරන සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මාතලේ, වීර කැප්පෙටිපොළ ශාලාවේදී ඊයේ (12) පෙරවරුවේ පැවති මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
කිසිසේත්ම අසාධාරණව පළිගැනීමේ චේතනාවකින්, වෛරයෙන්, ක්‍රෝධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බව කී ජනාධිපතිවරයා, නීතිය ක්‍රියාත්මක වන්නේ සාධාරණව බව ද සාධාරණව නීතිය ඉටු නොවන තැනක් ඇත්නම් කියන්න යැයිද ප්‍රකාශ කළේය. අපි සියලු දෙනා පළමුව නීතියට යටත් විය යුතු බවත් දෙවනුව නීතියට බිය විය යුතු බවත් අක්රමිකතාවන්ට බිය නොවී ඉදිරියට යා නොහැකි යැයිද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
“නීතිය හමුවට පරීක්ෂණයක් සඳහා යම් කෙනකුගේ නමක් කියවුණා නම්, කටඋත්තරයක් ගත යුතුයි. එය මහා ව්‍යසනයක් බවට පත් කරන සංස්කෘතියක් අපේ රටට අවශ්‍ය නැහැ. මා අතින් යම් දෙයක් වුණා නම් කටඋත්තරයක් ගන්න පුළුවන්. නීතියට උඩින් අපි නැහැ. නමුත් එවැනි සංස්කෘතියක් සමාජයක් හදන්න උත්සාහයක් තිබෙනවා. සියලු දෙනා නීතියට යටත් රටක් ගොඩනඟමු.
රාජකාරිය පිළිබඳ බියක් ඇති කර ගන්න එපා. නීති රාමුව තුළ කටයුතු කරමින් ජන ජීවිතය ගොඩනංවමු” යැයි ද හෙතෙම කීවේය.
එමෙන්ම දිට්වා වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන පීඩාවට පත් ජන ජීවිතත්, එම ප්‍රදේශත් සංවර්ධනය වෙනුවෙන් ඵලදායීව සහ කාර්යක්ෂමව යෙදවීමට මැදිහත්වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ වසර අවසන් වන විට එම සියලු ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාව ද ජනපතිවරයා අවධාරණය කළේය.
බලය, ධනය සහ දේශපාලන සබඳතා මත නීතිය ඉටු නොවූ සංස්කෘතිය වෙනස් කර සියලු දෙනා නීතියට යටත් වන නව සංස්කෘතියක් ඇති කිරීමේ පියවර රජය මේ වන විට තබා ඇති බව එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, සියලු දෙනා නීතියට යටත් වන රටක් ගොඩනැඟීම මහා ව්‍යසනයක් ලෙස සමාජගත කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවත්, ශිෂ්ටසම්පන්න රටක් ගොඩනැඟීමේදී සියලු දෙනා නීතියට යටත් වන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
නීතිය රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි නිසි ලෙස ඉටු කිරීමට බාධාවක් නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, අවශ්‍ය නම් නීති සංශෝධන ද ගෙන ආ හැකි බවත්, පවතින නීතිරාමුව තුළ කටයුතු කරමින් රජයේ මුදල් ඉතා සැලසුම් සහගතව සහ ඵලදායීව යොදවමින් ජන ජීවිතය ගොඩනැංවීමට උපරිමයෙන් කැපවෙමු යැයිද සියලු දෙනාට ආරාධනා කළේය
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ මිනිස් ජීවිත සහ දේපොළ සඳහා වන්දි ගෙවීම, නිවාස සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳව එහිදී ජනාධිපතිවරයා පුළුල් ලෙස විමසා බැලීය. දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පවුල් සඳහා ලබා දුන් රුපියල් 25,000ක සහ 50,000ක දීමනාව මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන අතර, රු: 15,000 සහ රු:10,000 සෙසු දීමනාව ද සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව එහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.
ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 254කට පූර්ණ හානි සහ නිවාස 3,829කට අර්ධ හානි සිදු වූ අතර තක්සේරුවකින් තොරව වන්දි ලබා දිය හැකි සියලු නිවාස වෙනුවෙන් මේ වන විට වන්දි ලබා දී අවසන් බවත්, ඉතිරි නිවාසවලට අදාළ තක්සේරු ගණනය කිරීම මේ වන විට සිදු කෙරෙන බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.
ඉඩමෙහි හිමිකම නොමැති වීම, අධිඅවදානම් කලාපවල පිහිටීම සහ රක්ෂිතවලට අයත් වීම යන විවිධ තත්ත්වයන් හේතුවෙන් මතුව ඇති ගැටලුවලට ලබා දිය හැකි විකල්ප විසඳුම් පිළිබඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් පවතින නිර්ණායකවලට සංශෝධන ගෙන ඒම පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක් විය.
ආපදා තත්ත්වය හේතුවෙන් අහිමි වූ ජීවිත සඳහා වන්දි ලබා දීම, අධිඅවදානම් තත්ත්වය හේතුවෙන් ඉවත් කළ පවුල් සඳහා වන්දි ලබා දීම, නිවාස කුලී දීමනා ලබා දීම, NBRO වාර්තා ලබා දීමේ ප්‍රගතිය, නිවස ඉදිකිරීමේ සහ ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රගතිය පිළිබඳව ද එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විමසා බැලීය.
දිට්වා සුළි කුණාටුවට හසු වූ අධිඅවදානම් කලාපවල සියලු පවුල් ඉන් ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඊට අදාළව නීති සකස් කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙමින් ඔවුන් කඩිනමින් වෙනත් ස්ථානවල පදිංචි කිරීම ප්රමුඛ කාර්යයක් සේ සලකන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම, සුළි කුණාටුවෙන් මවුපියන් අහිමි වූ දරුවන් රැක බලා ගැනීම සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද විමසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම එක් එක් දරුවා වෙනුවෙන් වැඩසටහන් සකස් කර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස ද අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතියේ මතුව ඇති ගැටලු පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක් වූ අතර පාසල් පද්ධතිය යළි ස්ථානගත කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සැලැස්මට අනුකූලව අදාළ ඉඩම් නිදහස් කිරීමේ සහ පාසල් ගොඩනැඟිලි ඉදිකිරීමේ වැදගත්කම පැහැදිලි කළේය. එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය ද ජනාධිපතිවරයා විමසා බැලීය.
සුළි කුණාටුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ඒ හා බී ශ්‍රේණියේ මාර්ග 16ක් සහ පාලම් 02ක් විනාශයට පත් වූ අතර, එම මාර්ග 16හි සහ එක් පාලමක ඉදිකිරීම් මේ වන විට අවසන්ව ඇති බව නිලධාරීන් පෙන්වා දුන් අතර, ඉතිරිව ඇති මොරගහකන්ද පාලම ස්ථිර පාලමක් ලෙස කඩිනමින් යළි ඉදිකිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම, සංචාරක කර්මාන්තය සඳහා සුවිශේෂී වැදගත්කමක් දක්වන රිවස්ටන් මාර්ගය සහ දීර්ඝකාලීන ගැටලුවක් වූ ගලේවෙල – මාතලේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද විමසූ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පළාත් පාලන ආයතන සතු මාතලේ දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ මාර්ග, පාලම්, බෝක්කු සහ ජල ව්‍යාපෘති යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය ද එහිදී සමාලෝචනයට ලක් කෙරිණි.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වන්දි ගෙවීමේදී සේවා අංශයේ විනාශයට පත් වූ ව්‍යාපාර, සංචාරක අංශය සහ පතල් අංශය සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සහ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවට ලක් විය. කෘෂිකර්මාන්තය සහ සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්රය යථා තත්ත්වයට ගෙන ඒමට ගෙන ඇති පියවර පිළිබඳව ද එහිදී විමසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිෂ්පාදන ආර්ථිකය ඉලක්ක කර ගනිමින් ග්‍රාමීය කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විශේෂ අවධානය යොමුකර තිබෙන බව ද පෙන්වා දුන්නේය.
2026 අය-වැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මාතලේ නගර සංවර්ධන සැලැස්ම සහ දඹුල්ල රෝහල වෙනත් ස්ථානයකට ගෙන යෑමේ ව්‍යාපෘතිය පිළිබඳවත් එහිදී සාකච්ඡා කෙරුණු අතර, අදාළ ව්‍යාපෘති නිසි කාලය තුළ ක්‍රියාවට නංවමින් එහි ප්රතිලාභ ජනතාවට ලබා දීමට කැපවීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් බියන්විල, දිනේෂ් හේමන්ත, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
එමෙන්ම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ද, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මාතලේ දිස්ත්‍රික් ලේකම් එල්.පී. මදනායක මහත්වරු සහ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආරක්ෂක අංශ නියෝජිතයෝ ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපුටා ගැනීම දිනමිණ
