බලු වැඩ කරන – සඟ ගණ වුව පි‍ටුදකිනූ… – චින්තන ධර්මදාස


මම පුහු සදාචාරවාදියෙක් නෙමෙයි. ඒ හින්ද වැඩිවිය පත්වුනු කෙනෙක් තමන් කැමති ඕනම කෙනෙක් එක්ක ලිංගිකව එක්වීම නීතියට ගැටලුවක් වුනත් මට එහෙම ගැටලුවක් නෙමෙයි.

නමුත් යම් කෙනෙක් තමන්ගේ බලය, මුදල්, නිල ඇඳුම, සමාජ තත්වය පාවිච්චි කරලා යම් කෙනෙකුට බලහත්කාරයක් කරනවා නම් ඒක බරපතල විදිහට ප්‍රශ්න කළ යුතු කාරණයක්. ලිංගික බලහත්කාරය කිසිම විදිහකින් සමාජයක් ඉවසිය යුතු කාරණයක් නෙමෙයි.

අනුරාධපුරේ අවුරුදු පහලොවක දැරිය වරින් වර අපයෝජනයට ලක් කළ බව කියන අධිපති භික්ෂුවක් තවමත් අත්අඩංගුවට අරගෙන නෑ. මුදල් ලබාගනිමින් මේ දැරියගේ දෙමව්පියන් විසින් ඇයව නැවත නැවත මේ භික්ෂුවගේ බලහත්කාරය වෙනුවෙන් යොදවා තියෙනවා. මෙතන දරුණු ඛේදවාචකයක් තියෙනවා.
එක පැත්තකින් බෞද්ධයෙක් විදිහට මේ සිදුවීම අතිශය වේදනාවක් දනවන කාරණයක්. මෛත්‍රීය කරුණාව සංකේතවත් කරන බුද්ධ චීවරය බලහත්කාරය, බලය වෙනුවෙන් තිරශ්චීන විදිහට පාවිච්චි වෙමින් තියෙනවා.

අනෙක් අතට නීතියට ඉහලින් ආගමික අධිකාරිය වැජබෙමින් ඉන්නවා. මාලිමාව බලයට පත්වුනේ සාධාරනය යුක්තිය ගැන මහ කතන්දර ගොඩක් කියමින්. නමුත් මුලින්ම ඔවුන්ට හිතවත් ටියුෂන් ගුරුවරයා සම්බන්ද සිදුවීමේදී දරුවාගේ අයිතිය වෙනුවෙන් ඔවුන් කටයුතු කලේ ලැජ්ජාසහගත ආකාරයටයි. මාලිමා නිල පිටු පවා ජීවිතය අහිමි වූ දරුවා වෙනුවට ටියුෂන් ගුරුවරයා රැක ගැනීමට ඉදිරිපත් වුනා.

ඒ වගේම මෙතනදි රෝහලක වෛද්‍යවරියකට අතවර කළ බව කියා අත්අඩංගුවට ගත් සෙබළාගේ සිදුවීමත් සිහපත් කරන්න ඕන. ඒ සෙබළාට පොලිසියෙන් සිදු කළ දරුණු වධහිංසා ගැන මතක් කරන්න ඕන. පීඩිතයෙකු අතින් සිදුවන බලහත්කාරයකට ඒ ආකාරයෙන් මැදිහත් වෙන නීතිය, මෙවන් ආගමික බලය හිමි චීවරධාරියෙකු ඉස්සරහ හැසිරෙන ආකාරය හොඳින් අව‍බෝධ කරගන්න ඕන. නීතිය සැමට සමානයි කියල අපි මහ ඉහළින් කියන්නෙ මේ තත්වයද?

දැන් මාලිමාව ඉන්නෙ තවත් අර්බුදයක. මේ ලිංගික අපරාධ සිදුකළ අධිපති භික්ෂුවට එරෙහිව ආන්ඩුව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ, එයින් ආන්ඩුව බෞද්ධ විරෝධී යැයි ලේබල් වේය කියන බයටයි. මාලිමාව අන්තිමට දූෂිත සාසනයක බලයට යටවෙලා තියෙනවා. ලිංගික හිංසනයට පත් වුනු දැරිය දෙමව්පියන්ගේ හෝ රජයේ හෝ රැකවරණයක් නොලබා අසරණ වෙලා ඉන්නවා.

ශෘංගාරය ආදරය වෙනුවෙන් පෙනී සිටින, එහි මිනිස් සෞන්දර්ය ගැන කතා කරන මට නම් ඒ සොදුරුබව කෙලෙසන මෙවන් සාපරාධී සිදුවීම් වලදී රැක ගැනීමට ඇත්තේ පීඩාවට පත් දැරිය විතරයි. සංස්කෘතිය හෝ ආගම හෝ එතනදී ඉටු කරන්නේ පීඩකයාගේ භූමිකාව නම් ඊට එරෙහි වීමට දෙපාරක් හිතන්න දෙයක් නෑ . එවන් තිරශ්චීන ආගමික බලවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පමා කරන බියගුලු ආන්ඩුවලට ගල් ගහන්නත් කොහෙත්ම ප්‍රමාද විය යුතු නැහැ.

මාලිමා පාක්ෂිකයිනි, විලි ලැජ්ජයි උඹලා ගැන!

Social Sharing
අවකාශය පුවත්