15 හැවිරිදි දැරියක් අපයෝජනය කළ බවට අනුරාධපුර විහාරාධිපති හිමිනමකට චෝදනා!

අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බවට සැලකෙන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එහි ප්‍රගතිය වාර්තා කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා ගම්පහ කොට්ඨාසයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් 22424/2026 අංක දරන බී වාර්තාව මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගනිමිනි.

පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ ලැබුණු තොරතුරකට අනුව සිදු කළ සෝදිසි කිරීමකදී, 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්හලක, තම පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් බවයි. එම පුද්ගලයා ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව, දැරිය ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති අතර, එහිදී මෑත දිනවල මෙන්ම පෙර අවස්ථා කිහිපයකදීද ඇය ලිංගික අපරාධයට ලක්ව ඇති බව තහවුරු වී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

දැරිය ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ තමන් මුලින්ම ලිංගික අපරාධයකට ලක් කළේ අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් බවයි. ඉන්පසුව, තම පෙම්වතා සහ ඥාති සහෝදරයෙකු විසින්ද තමන් ලිංගික අපරාධයට ලක් කළ බව ද ඇය තවදුරටත් ප්‍රකාශ කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් අනුරාධපුරයට ගොස්, චෝදනා එල්ල වී ඇති විහාරාධිපති හිමියන්ගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද වාර්තා වේ.

චෝදනා එල්ල වී ඇති විහාරස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා වින්දිත දැරියද එම ස්ථානයට රැගෙන ගොස් විමර්ශනයක් සිදු කර ඇත. මීට අමතරව, ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු පාර්ශ්ව කිහිපයකින්ද මේ වන විට ප්‍රකාශ සටහන් කරමින් සිටින බව පොලිසිය සඳහන් කරයි. දැරිය විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශවලදී, මුලින්ම අපරාධයට ලක් කිරීමෙන් පසුව රුධිරය තැවරුණු ඇඳුම් වළ දැමූ බවද අනාවරණය වී ඇති බව සඳහන් වේ.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, දැරියගේ දෙමාපියන් විසින් විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදල් ලබාගෙන තම 15 හැවිරිදි දියණිය එම හිමියන්ට ලබා දී ඇති බවයි. මෙම සිද්ධියට ලක්ව ඇත්තේ මැදවච්චිය, රඹෑව, වැලෑව ප්‍රදේශයේ පදිංචි දැරියකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ 1995 අංක 22 දරන පනතින් සංශෝධිත ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364(2) සහ 365(ආ)(2)(ආ) වගන්ති යටතේ ය. වින්දිත බාලවයස්කාර දැරිය දැනට රාගම ප්‍රදේශයේ පිහිටි විශේෂ ළමා නිවාසයක ආරක්ෂාව යටතේ රඳවා සිටින බව ද වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්