මෙරට ඇඟළුම් අපනයනය ඉහළ නැංවීමට ප්‍රංශයේ සහය

ශ්‍රී ලංකාවෙන් යුරෝපීය රටවල්වලට අපනයනය කරන උසස් ප්‍රමිතියෙන් යුතු ඇඟලුම් නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නංවන ලෙස ප්‍රංශ සෙනෙට් සභාවේ ප්‍රංශ-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිනිය Vanina Paoli-Gagin පවසයි. ඇය මේ බව සඳහන් කර ඇත්තේ ප්‍රංශ සෙනෙට් දූත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර 21ක් වන දා පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී ය.

තවද මෙම සාකච්ඡාව අතරතුර දී ඉදිරි කාලය සඳහා GSP+ සහනය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අයැදුම් කිරීම පිළිබඳව අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රංශය ධනාත්මක බලාපොරොත්තුවකින් පසුවන බව දූත පිරිස සහතික කළහ.

නව රජය යටතේ සියලු ජාතීන් සමානව සලකනු ලබන බවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා මානව අයිතීන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කළේ ය. එමෙන් ම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු නැවත ගොඩනැගීම් ක්‍රියාවලියට සහ ආර්ථික අර්බුදයෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රංශය ලබා දුන් සහාය පිළිබඳව ද අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ මෙරට ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් ඇමරිකා-ඉරාන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වුවත් ඒවා සාර්ථකව කළමනාකරණය කිරීමට හැකි වී ඇති බව ද අවධාරණය කළේ ය.

තව ද, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වේගවත් වර්ධනය සැලකිල්ලට ගනිමින් Air France ගුවන් සේවය මෙරටට ගුවන්වාර ආරම්භ කරන්නේ නම් ප්‍රංශ සංචාරකයන්ට බහුලව ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසෙන බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත. තමා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය සාර්ථක සංචාරයක් වූ බවත් කතානයක සහ අග්‍රාමාත්‍යතුමිය හමු වී සාකච්ඡා කිරීමට හැකි වීම සතුටට කරුණක් බව සභාපතිනිය මෙහිදී පෙන්වා දුන්නා ය.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෑතකාලීනව දෙරට අතර සිදු වූ රාජ්‍ය නායක සංචාරයන් හේතුවෙන් තවදුරටත් ශක්තිමත් වී ඇති බව ද සඳහන් කළාය.

ඉදිරි කාලය තුළ විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපතිතුමා ප්‍රංශ සංචාරයක් සඳහා ඇරයුම් කරන බව ද ඇය කියා සිටියා ය.

විශේෂයෙන් ඉන්දියන් සාගර කලාපය තුළ දෙරටේ සහයෝගීතාව වර්ධනය කරමින් කලාපීය සමුද්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේ (RCMS) කටයුතුවල ප්‍රගතිය මෙන් ම BBNJ ගිවිසුම සම්මත කර ගැනීම සඳහා ප්‍රංශය ලබා දුන් නායකත්වය ද මෙහිදී අගය කරන ලදී.

මීට අමතරව, ධාරිතා වර්ධනය සඳහා තවදුරටත් සහයෝගීතාව දැක්වීම පිළිබඳවත්, කෘතිම බුද්ධිය (AI) මගින් ඇති වන බලපෑම් කළමනාකරණය සඳහා ප්‍රංශ පාර්ලිමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒ සඳහා නිසි පාලන රාමු සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

උපුටා ගැනීම මව්බිම

Social Sharing
නවතම පුවත්