
වීරවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තරුණයෙකුට අමානුෂික ලෙස පහරදී බරපතල තුවාල සිදු කර ඇති අතර පසුව සිද්ධිය යටපත් කිරීම සඳහා අසත්‍ය චෝදනා මත රඳවා තබා ගනිමින් අනතුරුව නඩු පැවරූ සිද්ධියක් අප්‍රේල් 11 වනදා රාත්‍රියේ තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඒ අනුව, තිස්සමහාරාම ප්‍රදේශයේ සිට සෆාරි ජීප් රථයකින් වීරවිල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගිය තරුණයින් පිරිසක්, ප්‍රසංගය අවසන්ව නිවෙස් බලා යමින් සිටියදී වීරවිල පොලිසිය විසින් ඔවුන් ගමන් කළ ජීප් රථය නතර කර සෝදිසි කර තිබේ. එහිදී රියදුරු මත්පැන් පානය කර ඇති බව පවසමින් රථයේ සිටි පුද්ගලයන් අතරමග බස්සවා, ජීප් රථය සහ රියදුරු පොලිස් භාරයට ගෙන වීරවිල පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
පසුව, පොලිස් භාරයට ගත් සිය මිතුරාගේ තත්ත්වය පිළිබඳ විමසීම සඳහා එම කණ්ඩායමේ සෙසු පිරිස වෙනත් ජීප් රථයකින් වීරවිල පොලිස් ස්ථානය ඉදිරිපිටට ගොස් තිබේ. එහිදී තරුණයින් දෙදෙනෙකු පමණක් පොලිස් ගේට්ටුව අසලට ගිය අවස්ථාවේදී, එහි සිටි පොලිස් නිලධාරීන් ඔවුන්ට අසභ්‍ය වචන භාවිත කරමින් පලවා හැර ඇති බව සඳහන් වේ. එම අවස්ථාවේදී, සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකු ජීප් රථය අසලට පැමිණ එහි සිටි පිරිස දෙස විමසිලිමත් ලෙස නිරීක්ෂණය කර ඇති අතර, ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටින බව තරුණයින්ට සැක පළ වී ඇත.
එවිට, තිස්සමහාරාම යෝදකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි සංජුක රුහිංස නමැති තරුණයා, “සර්ලා පොලිස් නිලධාරීන් නේද, සර්ලාත් හොඳට ගහලා නේ ඉන්නේ, ඔහොමද රාජකාරි කරන්නේ?” යනුවෙන් සංයමයෙන් විමසූ බව පැවසේ.
එම ප්‍රකාශය හේතුවෙන් උරණ වූ බව කියන එම නිලධාරියා, සංජුක රුහිංසගේ ෂර්ට් එකෙන් අල්ලා ඔහුව ජීප් රථයෙන් බිමට ඇද දමා අතින් සහ පයින් පහර දීම ආරම්භ කර ඇති අතර පසුව මෙම ප්‍රහාරයට තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව ඇත, සිවිල් ඇඳුමින් සිටි නිලධාරියෙකු හෙල්මට් එකකින්ද, තවත් නිලධාරියෙකු බැටන් පොල්ලකින්ද පහර දී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් සංජුක රුහිංස නමැති තරුණයාගේ හිස තුන් ස්ථානවලින් පැලී ගොස් ඇති අතර, උඩුතොල පැලීම, උඩු දත් ඇන්ද සෙලවීම සහ කන් දෙකෙන් ඇදීම හේතුවෙන් කන් පෙති ඉරී යාම ඇතුළු බරපතල තුවාල සිදු වී ඇති බව සඳහන් වේ.
පහරදීමෙන් අනතුරුව බරපතල ලෙස තුවාල ලබා සිටි ඔහුව රෝහල් ගත කරන ලෙස කළ ඉල්ලීම් පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත්, අනතුරුව ඔහුව පොලිස් කුඩුවට දමා “කලහකාරී ලෙස හැසිරුණු” බවට අසත්‍ය චෝදනා යටතේ බලහත්කාරයෙන් ප්‍රකාශයකට අත්සන් ලබාගෙන ඇති බවත්, පහර කෑමට ලක් වූ බව කියන සංජුක රුහිංස මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය අනුව, කිසිදු තැනැත්තෙකු වධහිංසාවට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට භාජනය නොකළ යුතුය. 1994 අංක 22 දරන වධහිංසාවට එරෙහි සම්මුතිය යටතේ මෙලෙස අත්අඩංගුවේ සිටින හෝ පොලිස් භාරයේ සිටින පුද්ගලයෙකුට ශාරීරික හානි සිදු කිරීම බරපතල සාපරාධී වරදකි. පොලිස් නිලධාරියෙකුගේ මූලික කාර්යභාරය වන්නේ මහජන සාමය රැකීම සහ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. රාජකාරි වේලාව තුළ මත්පැන් පානය කිරීම පොලිස් විනය නීති පද්ධතිය (Police Disciplinary Code) උල්ලංඝනය කිරීමක් වන අතර, නීතිය බලාත්මක කිරීමට සිටින නිලධාරීන්ම නීතිය අතට ගෙන ක්‍රියා කිරීම වෘත්තීය ආචාර ධර්මවලට (Professional Ethics) පටහැනි මෙන්ම දඬුවම් ලැබිය හැකි වරදකි.
සටහන – තරංග එල්. පටබැදි
