මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අඩු ආදායම්ලාභී රටවල් දැඩි අවදානමක – ජාත්‍යන්තර ආයතන අනතුරු අඟවයි!

 

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝක ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ලවීමත් සමඟ අඩු ආදායම්ලාභී රටවල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් ඇති බව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතන තුනක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා තිබේ.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහය පවසන්නේ මෙම ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති, ආහාර සහ ශ්‍රම වෙළෙඳපොළවල් දැඩි අස්ථාවරත්වයකට ලක්ව ඇති බවයි.

එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කරුණු අනුව, බලශක්ති ආනයනය මත දැඩි ලෙස යැපෙන අඩු ආදායම්ලාභී රටවලට තෙල්, ගෑස් සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුව ඇති බව පෙන්වා දී ඇත.

තවද, හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන බලශක්ති සැපයුම් මාර්ග තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වී නොමැති අතර, නැව් ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත්වුවද ගෝලීය සැපයුම් ජාලය යථා තත්ත්වයට පත් වීමට දීර්ඝ කාලයක් ගතවනු ඇති බවද එම ආයතන සඳහන් කරයි.

මේ අතර, යුද ගැටුම් හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය සහ රැකියා වෙළෙඳපොළ ද දැඩි ලෙස පසුබෑමකට ලක්ව ඇති බවත්, එය විශේෂයෙන් සංචාරක ආදායම් මත යැපෙන රටවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් වාර්තා වේ.

මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ බලපෑමට ලක්වන රටවලට අවශ්‍ය ප්‍රතිපත්තිමය උපදෙස් සහ මූල්‍ය ආධාර ලබා දීමට තමන් සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහය අවධාරණය කර ඇත.

Social Sharing
නවතම පුවත්