හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට රුපියල් මිලියන 25ක දඩයක්!

 

 

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ බස්නාහිර පළාත් හිටපු මහ ඇමැතිවරයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංගට රුපියල් මිලියන 25ක දඩයක් ගෙවීමට කොළඹ මහාධිකරණය ඊයේ (02) නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේ, විත්තිකරු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදීමෙන් අනතුරුවය.

මෙම නඩුවට අනුව, 2015 අප්‍රේල් 10 වැනිදා මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් මහතාගෙන් ඉඩමක් ගොඩ කිරීමට අවසර ලබාදීම සඳහා රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා, එයින් රුපියල් මිලියන 15ක් ලබාගෙන බියගන්වා මුදල් අයකිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ප්‍රසන්න රණතුංග මහතාට අමතරව ඔහුගේ බිරිය වන මොරිස් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන අයද නම්කර අධිචෝදනා 5ක් යටතේ නඩු පවරා තිබූ අතර, දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102 සහ 373 යන වගන්ති යටතේ චෝදනා ගොනු කර තිබුණි.

නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් ව්‍යාපාරිකයා ඇතුළු සාක්ෂිකරුවන් 7 දෙනකු ඉදිරිපත් වූ අතර, විත්තිය වෙනුවෙන් දෙවැනි විත්තිකාරිය වූ ස්ටෙලා රණතුංග මහත්මිය විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් ලබාදුන්නාය. එසේම විත්තිය වෙනුවෙන් තවත් එක් සාක්ෂිකරුවකු ද ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුව සම්බන්ධයෙන් 2022 ජූනි 06 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය, ප්‍රසන්න රණතුංග මහතා වරදකරු බව තීන්දු කරමින් බරපතළ වැඩ සහිතව වසර 2ක සිර දඬුවමක් නියම කළ අතර, එය වසර 5කට අත්හිටුවන ලදි. එමෙන්ම රුපියල් මිලියන 25ක දඩයක් සහ අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබුණි. දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර 9ක සිර දඬුවමක් නියම කරන බවද එම තීන්දුවේ සඳහන් විය. නඩුවේ දෙවැනි විත්තිකාරිය වූ ස්ටෙලා රණතුංග මහත්මිය එහිදී නිදහස් කර තිබුණි.

කොළඹ මහාධිකරණය ලබාදුන් එම තීන්දුවට එරෙහිව විත්තිකරු විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එය මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා, තම සේවාදායකයාට නියම වී ඇති දඩ මුදල සහ වන්දි මුදල ගෙවීමට කාලය ලබාදෙන්නේ නම් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ පිළිබඳව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විරුද්ධ නොවන බව සඳහන් කළහ.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදුන් අතර, එමඟින් කොළඹ මහාධිකරණය නිකුත් කළ දඩ නියෝගය බලවත්ව පවතින බව අධිකරණය දැනුම් දුන්නේය.

Social Sharing
නවතම පුවත්