
රජය හඳුන්වා දී ඇති සහන පොලී ණය වැඩසටහන් පිළිබඳ බැංකු මට්ටමින් තොරතුරු නොදැනීම හෝ වැරදි ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදටත් චෝදනා එල්ල වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, සමහර බැංකු ශාඛා සිය ශාඛාවේ ලාභය වැඩි කර ගැනීමේ අරමුණින් රජයේ සහන ණය ලබාදීම වෙනුවට වෙනත් වාණිජ ණය ක්‍රම ජනතාවට යෝජනා කරන අවස්ථා ඇති බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ, සමහර අවස්ථාවලදී “එවැනි ණය ක්‍රම නොමැති” බව හෝ “එම ණය අවසන් වී ඇති” බව පවසමින් වෙනත් ණය ක්‍රමවලට යොමු කිරීමට උත්සාහ කරන බවයි. කෙසේවෙතත්, සමහර බැංකු සිය කෝටාව අවසන් කර ඇති අවස්ථා ද තිබිය හැකි බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, සහන ණය ලබාගැනීම සඳහා දිගු කාලයක් ගත වන බව පවසන අවස්ථා තිබුණද, බැංකුව නිසි ලෙස ක්‍රියාවලිය ආරම්භ කළහොත් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සති දෙකක් ඇතුළත ලබාගත හැකි බවද ඔහු අවධාරණය කළේය.
තවද, “ඇප රහිත ණය ලබාගැනීම අසීරුය” යන මතය පවතින නමුත්, මෙතෙක් පුද්ගලයින් 1,300කට වැඩි පිරිසක් එම ණය සාර්ථකව ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව, සහන ණය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය මෙසේය:
1. අදාල අයදුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගැනීම
2. අයදුම්පත සමඟ අදාල බැංකුව වෙත ඉදිරිපත් කිරීම
3. බැංකුව විසින් අයදුම්පත විශ්ලේෂණය කර ඩිජිටල් පද්ධතියට ඇතුළත් කිරීම
4. බැංකුව මූලික අනුමැතිය ලබාදීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කිරීම
5. මුදල් අමාත්‍යාංශය සති දෙකක් ඇතුළත අවසන් අනුමැතිය ලබාදීම

මාර්තු මාසය වන විට බැංකු විසින් ණය අයදුම්පත් 630ක් සකස් කර ඇති අතර, එහි මුළු වටිනාකම රුපියල් බිලියන 7.2ක් ලෙස වාර්තා වේ.
තවද, ණය සුරැකුම් ආයතනය විසින් මේ වසර තුළ ඇප රහිත ණය 267ක් අනුමත කර ඇති අතර, සමස්ත සහන ණය වැඩසටහනේ ප්‍රගතිය රුපියල් බිලියන 17.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.
මෙම වැඩසටහන යටතේ ලබාදීමට නියමිත සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 95ක් වන අතර, ව්‍යාපාරිකයින් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ අතර, Commercial Bank, HNB සහ NDB යන බැංකු සිය කෝටා මේ වන විට අවසන් කර ඇති අතර, ඉදිරි කාර්තුවේදී මුදල් අමාත්‍යාංශය මඟින් අමතර මුදල් ලබාදීමට නියමිත බවද වාර්තා වේ.
මෙය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ෆේස් බුක් පිටුවේ තැබු සටහනක් ඔස්සේ සැකසූ පුවතකි.
