බලපිටිය ත්‍රිත්ව ඝාතන නඩුවේ සාක්ෂි පරස්පරතාවය මත විත්තිකරුවන් සිව්දෙනා නිදොස් කොට නිදහස්

2006 වසරේ බලපිටිය, තොටගමුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් සිව්දෙනෙකු බලපිටිය මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇත.

මෙම නඩුවේ තීන්දුව ලබාදෙමින් මහාධිකරණය සඳහන් කළේ සැකකරුවන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ සාක්ෂිවල බරපතළ පරස්පරතා පවතින බවයි.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු, පොලිස් කොස්තාපල්වරයකු සහ රියදුරකු 2006 සැප්තැම්බර් 11 වැනිදා අලුයම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම නඩුව ගොනු කර තිබුණි.

පැමිණිල්ලට අනුව, මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් නිලධාරීන් අලුයම 3.00ට පමණ තොටගමුව ප්‍රදේශයට පැමිණ තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් ටික වේලාවකට පසු, පුද්ගලයන් පිරිසක් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ගිනි අවි බලහත්කාරයෙන් පැහැරගෙන, වෙඩි තබා තිදෙනාම ඝාතනය කර ඇති බව පැමිණිල්ල සඳහන් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා මුලින් විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණද, පළමු විත්තිකරු මරණයට පත්වීම හේතුවෙන් ඔහුට එරෙහි නඩු කටයුතු නතර කර තිබිණි.

නඩු විභාගය අතරතුර තුන්වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයබා කළුපහන පැමිණිල්ලේ නඩුවේ විශ්වසනීයත්වය දැඩි ලෙස අභියෝග කරමින්, ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවල සැළකිව යුතු නොගැළපීම් අධිකරණයේ අවධානයට යොමු කළේය.

පැමිණිලිකාරිය ද වූ ප්‍රධාන ඇසින් දුටු සාක්ෂිකාරිය අවස්ථා කිහිපයකදී තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් පරස්පර වාර්තා ලබා දී ඇති බවද, විශේෂයෙන් ටී–56 ගිනි අවියක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ විස්තර සමාන තත්ත්වයන් යටතේ වුවද නොගැළපෙන බවද ඔහු තර්ක කළේය.

පැමිණිල්ල නඩුව “සාධාරණ සැකයෙන් ඔබ්බට” ස්ථාපිත කිරීමට අපොහොසත් වී ඇති බවත්, එම සීමාවට ළඟා වීමටවත් නොහැකි වී ඇති බවත් විත්තිය පෙන්වා දී තිබුණි.

සිව්වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර ද සිල්වා පෙනී සිටියේය.

සියලු සාක්ෂි සහ ඉදිරිපත් කිරීම් සළකා බැලීමෙන් අනතුරුව, මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ තීරණය කළේ විත්තිකරුවන් හඳුනා ගැනීමේදී පැමිණිල්ලේ සාක්ෂිවල පවතින පරස්පරතා නඩුව මූලික වශයෙන් අඩපණ කර ඇති බවයි.

ඒ අනුව, විත්තිකරුවන් සිව්දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට බලපිටිය මහාධිකරණය නියෝග කළේය.

උපුටා ගැනීම Ceylon wire News වෙබ් පිටුවෙනි.

Social Sharing
නවතම පුවත්