
දෙරට අතර එකඟ වූ බලශක්ති අංශ ව්‍යාපෘති, විශේෂයෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ව්‍යාපාරයේ කටයුතු කඩිනම් කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය සතියේ පැවති දුරකථන සංවාදයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.
වාර්තා අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීමෙන් පසු ඉන්ධන සැපයුම්වල ඇති වූ බාධා හේතුවෙන්, ඉන්දියාවේ IOCL සමාගම වෙතින් හදිසි ඉන්ධන සැපයුම් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය මෝදි මහතා අමතා ඇති අතර, එම අවස්ථාවේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයි සඳහන් වේ.
ඉන්ධන සැපයුම් හිඟය හමුවේ, IOCL සමාගම විසින් ශ්‍රී ලංකාව සඳහා ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයේ මැදිහත්වීමක් ද ඉල්ලා තිබූ බව වාර්තා සඳහන් කරයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන බව පෙන්වා දී ඇති අග්‍රාමාත්‍ය මෝදි මහතා, එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමටත්, රටේ ඉන්ධන ගබඩා ධාරිතාව වැඩි කිරීමටත් වැදගත් වන බව ජනාධිපතිවරයාට අවධාරණය කර ඇති බව පැවසේ.
ඉන්දියාවේ IOCL සමාගම සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව අතර 2023 වසරේදී ආරම්භ කරන ලද ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් (පෞද්ගලික) සීමිත ගිවිසුම යටතේ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61ක් සංවර්ධනය කිරීමට නියමිත අතර, එහි පළමු අදියරේදී ටැංකි නවයක සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීමද ඇතුළත් වේ.
කෙසේවෙතත්, ගිවිසුම බලාත්මක වුවද, ව්‍යාපෘතියේ කටයුතු මෙතෙක් ප්‍රමාද වී ඇති බව ද වාර්තා වේ.
