මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ ඉන්ධන හා විදුලි පරිභෝජනය සීමා කිරීමට රජයෙන් නව මාර්ගෝපදේශ

මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනයේ බාධා මතුවිය හැකි බව සැලකිල්ලට ගනිමින්, ඉන්ධන හා බලශක්ති භාවිතය සීමා කිරීම සඳහා රජය නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ අත්සනින් නිකුත් කළ මෙම උපදෙස් අනුව, ඒවා සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය.

මෙම මාර්ගෝපදේශ අනුව, රාජකාරි සඳහා පැමිණීමේදී නිලධාරීන් තනි වාහන භාවිතය අවම කර, පොදු ප්‍රවාහන සේවා හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද (Carpooling) භාවිත කළ යුතුය. තවද, රැස්වීම් හා සාකච්ඡා සීමා කරමින් Zoom, Google Meet සහ WhatsApp වැනි තාක්ෂණික මාර්ග භාවිතය අනිවාර්ය කර ඇත.

රජය සතුව වාහන 92,000ක් පවතින අතර, එක් වාහනයකින් දිනකට ඉන්ධන ලීටරයක් ඉතිරි කළහොත් මාසිකව ලීටර් මිලියන 2ක් සහ වාර්ෂිකව ලීටර් මිලියන 24ක් ඉතිරි කර ගත හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

එමෙන්ම, ලිපි ලේඛන හුවමාරුව සඳහා භෞතික ප්‍රවාහන වෙනුවට විද්‍යුත් තැපෑල හෝ WhatsApp භාවිතය ප්‍රෝත්සාහනය කර ඇත.

කාර්යාලවල විදුලි භාවිතය සීමා කිරීම සඳහා වායුසමීකරණ යන්ත්‍ර 26°C හෝ ඊට වැඩි උෂ්ණත්වයක පවත්වා ගැනීමටත්, දිනකට පැය 1ක් 2ක් පමණක් ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් දී ඇත. උදෑසන කාලයේ ජනේල විවෘත කර ස්වාභාවික වාතාශ්‍රය ලබා ගැනීම ද අනිවාර්ය කර ඇත.

තවද, රාත්‍රී 9.00න් පසු ආයතනවල නාම පුවරු හා ප්‍රදර්ශන ආලෝකය නිවා දැමිය යුතු අතර, දහවල් කාලයේදී කාර්යාල තුළ රූපවාහිනී භාවිතය නතර කළ යුතුය. විදුලි සෝපාන භාවිතය අවම කර පියගැටපෙළ භාවිතයට දිරිමත් කර ඇත.

අධි ආරක්ෂිත කලාප හැර අනෙකුත් සියලු මාර්ගවල වීදි ලාම්පු තාවකාලිකව නිවා දැමීමට ද උපදෙස් නිකුත් කර තිබේ.

එමෙන්ම, තාක්ෂණික පහසුකම් පවතින අවස්ථාවලදී කාර්ය මණ්ඩලයට මාර්ගගත ක්‍රමවේදය මඟින් සේවය ලබා ගැනීමටත්, රාජකාරි වේලාවෙන් පසු සහ නිවාඩු දිනවල (අත්‍යවශ්‍ය අවස්ථාවල හැර) කාර්යාල වසා තැබීමටත් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

පසුගිය මාසය සමඟ සැසඳීමෙන් ඉන්ධන හා විදුලි පිරිමැස්ම පිළිබඳ වාර්තා සකස් කිරීම ද අනිවාර්ය කර ඇති අතර, ඒවා ඉදිරියේදී පරීක්ෂා කිරීමට නියමිතය.

ජාතික බලශක්ති ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් උපරිම සහයෝගය ලබා දෙන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
නවතම පුවත්