අහම්බකාරක බීඩිය – උපුල් කුමරප්පෙරුම

ගාමිණි වියන්ගොඩට එක්දහස් නවසිය හැත්තෑ එකේ ගුරු පත්වීමක් ලැබෙනවා. ඒ සාමන්‍ය පෙළ කරල ඉවරවෙලා ටික කාලෙකින්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරසන් ගස් වැව කියන ගමේ ඉස්කෝලෙට.

තරුණ ගාමිණී ඉතින් පරසන් ගස් වැවට යනවා. ඒ පැත්ත අති දුෂ්කර ප්‍රදේශයක්, ගාමිණි ඉස්කෝලෙ ගුරු නිවාසෙ නවතිනවා. ඉස්කෝලෙටම ගුරුවරු දෙන්නයි. ලොකු ඉස්කෝලෙ මහත්තයයි, ගාමිණියි.

ඒ පැත්තෙ කඩපිල් තිබිලා නැහැ. ගාමිණිගෙ ඉස්කෝලෙ ඉඳල හැතැක්ම දෙක තුනක් එහා පොඩි කඩයක් තිබිලා, ඒකෙත් තිබිල තියෙන්නෙ ඒ ප්‍රදේශයේ අයගෙ අවශ්‍යතා විතරයි. ගාමිණීට කඩේ හැටියට වෙනස් වෙන්න වෙලා. දුම් වැටියෙන් බීඩි කොටේට මාරුවෙලා. හේතුව කඩේ සිගරට් විකුණන්නෙ නැති එක.

ගාමිණි එක වතාවකට බීඩි මිටියක් ගේනවලු. දවසක් දවල්ට කෑම කාල බලද්දි බීඩි ඉවරවෙලාලු. ගාමිණි පොළොව කරකරන අව්වෙ අර කඩේට යනව බීඩි ගන්න. ඔහොම යද්දි කලිසම් කමීස ඇඳගත්තු කෙනෙක් ගාමිණි ඉස්සරහට එනවා. දෙන්නම දෙන්නට කතා කරල, ඒ පැත්තෙ තව ඉස්කෝලෙක ගුරුවරයෙක්; ධර්මසිරි. ධර්මසිරි තැපැල් කන්තෝරුවට ගිහින් උසස් පෙළ ලියන්න ඉල්ලුම් පතක් ගන්න. දෙන්නගෙ කතාබහ ලොකුවට ගිහින්. අන්තිමට ධර්මසිරිත් අනෙක් පැත්ත හැරිල එනව ගාමිණි එක්ක කඩේට යන්න. කඩේ යන ගමන් විස්තර දැන ගත්ත ධර්මසිරි, ගමිණීට කියනවලු උසස් පෙළ ලියන්න කියල. ගාමිණි කැමති නැතිලු. අන්තිමට ධර්මසිරිගෙ පෙරැත්තයට ගාමිණි කැමතිවෙලා, කොන්දේසියකට යටත්ව. කොන්දේසිය තමයි රුපියල් විස්සක විභාග ගාස්තුව ධර්මසිරි ගෙවීම.ඒකටත් ධර්මසිරි එකඟ වෙලා තියෙනව.

විභාගෙට ඉල්ලුම් පත් දාල, ගාමිණි, ධර්මසිරිගෙ ඉස්කෝලෙ ගුරු නිවාසයට මාරුවෙලා පාඩම් කරන්න ලෙහෙසි වෙන්න. ඔන්න දෙන්නම විභාගෙ ලිව්ව, ප්‍රතිඵල ආවාම ගාමිණි පාස්, ධර්මසිරිට හොඳ ප්‍රතිඵලයක් නැහැ. දැන් ගාමිණි කොලඹ සරසවියට තේරිලා. අධ්‍යයන කටයුතුවල පහසුවට පස්සෙ කොලඹ ආවා. ධර්මසිරිට සරසවි ප්‍රවේශය අහිමිවුනා.

ගාමිණි අසූවේ ජූලි වර්ජනයට සම්බන්ධ වුනා, රස්සාව නැතිවුනා, ප්‍රංශයට ගියා. රාග රිද්ම, කරුමක්කාර කතාවක් සිට දොන් කිහොතේ( 2) තෙක් පරිවර්තන සාහිත්‍යයට මෙහෙවරක් කල සාහිත්‍යකරුවෙකු උනා. ධර්මසිරි විදුහල්පතිවරයෙකු ලෙස ගුරු සේවයෙන් විශ්‍රාම ගියා. දැන් මිහින්තලේ පැත්තෙ ජීවිතයේ සැඳෑ සමය ගතකරනව.
ගාමිණී තාම ජීවිතය තරුණයෙක් සේ ජවයකින් ගතකරනව; දේශපාලනය , කලාව, හෝ වෙනත් සාමාජයීය කරනා කියල වෙනසක් නැතිව. හෙට සිටි එෆ් එම් එකේ ශනිදා සාදයටත් සහභාගි වෙනව. ගාමිණි කියන්නෙ ඔහුගේ ජීවිතය වෙනස් කලේ බීඩියක් කියල.

Social Sharing
අවකාශය පුවත්