අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී සිරකරුවෙකු ඝාතනය කළ දෙදෙනාට මරණ දඬුවම

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළදී සිරකරුවෙකුගේ හිසට ගලකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට අද (05) තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇත.

තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ කොළඹ මෝදර වීදියේ පදිංචිව සිටි ලහදපුරගේ නිමල් හෙවත් “යකඩයා” (40) සහ කුරුකුලසූරිය බාලපුවඩුගේ බැසිල් මෙන්ඩිස් (49) යන දෙදෙනාටය. ඔවුන් වෙනත් මිනීමැරුම් නඩුවකට අදාළව දැනටමත් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටි බවද වාර්තා වේ.

අධිකරණයේ කරුණු අනුව, 2018 නොවැම්බර් 16 වැනිදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළදී හේවා ඇලපාතගේ මේනක සංජීව හෙවත් “උක්කුවා” නමැති සිරකරුවෙකුගේ හිසට ගලකින් පහරදී ඔහු ඝාතනය කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනතුරුව නීතිපතිවරයා විසින් 2024 වසරේදී විත්තිකරුවන්ට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව අධිකරණය තීරණය කළ බැවින් මෙම දඩුවම නියම කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන තෙක් විත්තිකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇත.

මෙම නඩුවේ පැමිණිල්ල නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ එරංග යකන්දාවල මහතා විසින් මෙහෙයවනු ලැබීය.

Social Sharing
නවතම පුවත්