කාන්තා බලය සහ ශ්‍රමය රටේ ශක්තියයි.

අයිතිවාසිකම් සහ යුක්තිය වෙනුවෙන් කාන්තා අපි පෙරමුණ ගනිමු

ජාත්‍යන්තර කාන්තා දිනය 2026

සෑම වසරකම මාර්තු 8 වන දින සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය, ලොව පුරා කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානත්වය, ගෞරවය සහ සමාජ දේශපාලනික දායකත්වය අගය කරන වැදගත් අවස්ථාවකි. ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ විපක්ෂ කාන්තා සංවිධාන ලෙස මෙය සැමරීමට එක්වන අපි, අද දින ශ්‍රී ලංකාවේ සියලු කාන්තාවන්ට, වතුකරයේ සිට නගරයට, ගම්මානයේ සිට වෙළඳ කලාපයට, විදේශ සේවයට ගිය අම්මාවරුන් සිට පවුල් බර දරා ගන්නා තනි මව්වරුන් දක්වා, ගෞරවය සහ ප්‍රණාමය පුද කර සිටිමු.

අයිතිවාසිකම් සඳහා වූ ගමන – ඉතිහාසයේ පාඩම

19 සහ 20 වැනි සියවස් ආරම්භයේ ඇති වූ කාර්මික විප්ලවය සමඟ කාන්තාවන් කම්කරුවන් ලෙස වැඩ කළද, ඔවුන්ට අඩු වැටුප්, දිගු වැඩ කාල සහ අයහපත් වැඩ පරිසරයන්ට මුහුණ දීමට සිදු විණි. 1908 දී නිව් යෝක් නගරයේ කාන්තා ඇඟලුම් සේවිකාවන් දහස් ගණනක් සාධාරණ සේවා කොන්දේසි සහ ඡන්ද අයිතිය ලබා ගැනීමේ අයිතිවාසිකම වෙනුවෙන් පවත්වන ලද උද්ඝෝෂණ, ජාත්‍යන්තර කාන්තා දිනයේ අරගල ඉතිහාසය සනිටුහන් කරයි. පසු කාලයක 1977 දී මාර්තු 8 වැනි දින “ජාත්‍යන්තර කාන්තා දිනය” වශයෙන් නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මත විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කාන්තාවගේ දායකත්වය

ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට කාන්තාවන් ඉටුකර ඇති දායකත්වය අති මහත් ය. වැවිලි ක්ෂේත්‍රය, ආයෝජන ප්‍රවර්ධන කලාප, විදේශීය සේවා (විදේශ රැකියා), සංචාරක ක්ෂේත්‍රය සහ විවිධ කර්මාන්ත වල නියැලෙමින් තම ශ්‍රමයෙන් රටේ ආර්ථික වර්ධනයට ලබා දී ඇති දායකත්වය ගණනය කළ නොහැක. ඔවුන්ගේ කැපවීම සහ දායකත්වය රටේ ජනතාව ගේ යහ පැවැත්ම, දරුවන් ගේ අධ්‍යාපනය සහ පවුල් ආර්ථිකය රැක ගැනීමට විශේෂ මට්ටමින් ඉවහල් වී ඇත.

එසේම යුද්ධය, සුනාමි ව්‍යසනය, හා ආහාර (ආර්ථික) අර්බුදය මෙන්ම මෑතක දී ඇති වූ දිට්වා සුළිකුණාටු ව වැනි විපත්කාරී තත්වයන් තුළ, සමාජය ඉරිතලා ගිය අවස්ථාවන් හී දී සිය දෙවුර මත එම බර කර තබාගෙන ඉරි තැලී ගිය සමාජය ට ශක්තිමත්ව නැගී සිටීමට අත දුන්නේද ශ්‍රී ලංකාවේ කාන්තාවෝමය. එනම්, ඔවුන්, පවුල, ප්‍රජාව සහ සමාජ ව්‍යුහය රැක ගනිමින් සමාජය නැවත නැංවීමට පෙරමුණ ගත්හ.

කෙසේ වෙතත්, අපි අතීතය පුරා කාන්තාවට සැබෑ ලෙසම ඇයගේ කම්කරු අයිතිවාසිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳිය හැකි පරිසරයක් සම්පාදනය කිරීමට අපොහොසත් වී තිබෙන බව අවංකව පිළිගනිමු. ඇයගේ සේවාව පිළිගැනීම, සාධාරණ වැටුප් සහ ආරක්ෂිත වැඩ පරිසරයක්, ඇයගේ ආරක්ෂාව සහතික කළ සහ ගෞරව දක්වන සමාජ-රාජ්‍ය ව්‍යුහයක් සම්පූර්ණයෙන් තහවුරු කර දීමට අපොහොසත්ව ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කාන්තාවන් ට සමාන අයිතිවාසිකම් ලබා දී ඇතත්, අපගේ ජීවිත අත්දැකීම් සහ ක්ෂේත්‍ර යථාර්ථය පෙන්වන්නේ, එය හුදෙක් නීති පොතට සීමා වී ඇති බවකි. 2023 වසරේ දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ජාතික කාන්තා කොමිසම පිළිබඳ පනතෙ හි පූර්වකථන යේ සඳහන් කරන අභියෝග අපට මතක් කර දෙන්නේ, කාන්තාව සමාන පුරවැසියෙකු ලෙස සැලකිය හැකි පරිසරයක් සාධාරණ ලෙස ගොඩනැගීම අප සියලුදෙනාගේ සාමූහික වගකීම බවයි.

මානව ආරක්ෂාව බිඳ වැටී යන රටක අපට යුක්තිය ඉෂ්ඨ වන්නේ කෙසේද?

ලංකාවේ ගෘහස්ථ වලින් 50%ක් ණය බරින් මිරිකී සිටී. මුළු ජනගහනයෙන් 1/4ක් දරිද්‍රතාවයෙන් පෙළෙති. ගෘහස්ථ වලින් 30% ක් දරුණු ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දෙන තත්වයක් අනාවරණය වී ඇත. පොලිස් වාර්තා වලට අනුව සෑම වසරක ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධව පැමිණිලි 100,000ක ට අධික සංඛ්‍යාවකි.
මේවා හුදෙක් සංඛ්‍යා ලේඛන පමණක් නොවේ, මේ අම්මාවරුන්ගේ කඳුළුය, දරුවන්ගේ මානසික බිඳ වැටීමයි, අධ්‍යාපනය කඩාකප්පල් වීමය, සෑමදාකම “හෙටට කන්න කොහෙන්ද” කියා සිතන්නට වන පවුල් වල දෝංකාරයයි.

අය වැය පරතරය පියවීමට ආණ්ඩුව ගෙනයන වියදම් කප්පාදු ක්‍රියාවලියත් බදු බර පැටවීමත් මේ වන විට ජනතාව මෙතෙක් අත්විඳි අයිතිවාසිකම් එකිනෙක විනාශ මුඛයට ඇද ගෙන යයි. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව මුහුණ දෙන අර්බුද වලින් පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවය සහ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතයයි.

වතුකරයේ දීමනා ප්‍රෝඩාව

අයවැයෙන් පොරොන්දු වූ රු. 200 ක දෛනික වැටුප් වැඩි කිරීම අද මහත් ප්‍රෝඩාවක් බව පෙනේ. සත්‍යය පැහැදිලිව කියා සිටීම අපගේ වගකීමකි. මෙම දීමනාව, වැටුප් වර්ධනයක් ලෙසට නීතිමය පිළිගැනීමක් නැත. එය EPF/ETF ගණනය කිරීමට ඇතුළත් නොවේ. එසේම එම දීමනාව වසර තුනකට පමණක් සීමා වූ එකඟතා ගිවිසුමක් මත ක්‍රියාත්මක වීම වැනි කරුණු හේතුවෙන්, එය දිගුකාලීන ආරක්ෂාවක් තහවුරු නොකරන තාවකාලික සහන දීමනාවක් පමණි. ඇතැම් කොම්පැනි මෙම දීමනාව ලබා දීමට නම් දින 25ක් වැඩ කිරීම අනිවාර්‍ය බවට පවසා තිබෙන බව වාර්තා වේ.

වතුකරයේ කාන්තාවන් වසර 200 ක් පුරා රටට සිය ශ්‍රමය ලබා දීම වෙනුවෙන් එම ජනතාවගේ උරහිසින් බලයට පත් වූ ආණ්ඩුව ඔවුන්ට සළකා ඇත්තේ එසේය. නීතිමය වශයෙන් පිළිගත් සමාජ ආරක්ෂාව සහිත ගෞරවනීය දිවි පැවැත්මක් තහවුරු කිරීමට කම්කරු අයිතිවාසිකම් පිළිබඳව පුරසාරම් දෙඩූ ආණ්ඩුවේ නායකයන් අපොහොසත් වී ඇත. දීමනාව තොරොම්බල් කර රටත්, වතු සේවකයනුත් රවටා ඇත.

දිට්වා සහනාධාර, ඉඩම් අයිතිය හා සමාජ අසමානතාව

දිට්වා සුළිකුණාටුවෙන් පසුව ලැබිය යුතු සහනාධාර සමානව හා විනිවිදභාවයකින් බෙදී යාමක් සිදු නොවන බව අපට පෙනේ. ඉඩම් අයිතියක් නොමැති ජනතාව කබලෙන් ලිපට වැටී ඇති තත්වයක් පෙනේ. සිය ගණනක් පවුල් ගේ දොර වතු පිටි අහිමි වීමේ තර්ජනය හමුවේ අසරණ වී ඇත. ආර්ථික උපාය මාර්ගයන් නැති වීමට විකල්ප, විසඳුම් ලැබී නොමැත. මධ්‍යම කඳුකරයේ පවුල් සිය ගණනක් තවමත් දිවි ගෙවන්නේ කූඩාරම් වලය. වතුවල පාසල් පද්ධතිය සහමුලින්ම කැඩී බිදී ගොස්‍ ය.
මෙම තත්වය සමාජ අසමානතාවන් තීව්‍ර කරන බව නොරහසකි. අන්ත දිළිඳුභාවයට ඇද වැටෙන්නේද කාන්තාවන් ය.

ජාතික ආරක්ෂාව

මත්ද්‍රව්‍යය ව්‍යසනයට එරෙහිව දියත් කරන ලද “ඉවත් වෙන්න” වැනි වැඩ සටහන ද “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහන වෙනුවෙන් ද දැවැන්ත ආයෝජනයක් කර ඇත. ආණ්ඩුවේ වැඩ මෙඝා ව්‍යාපෘති වලට පමණක් සීමා වූවා වැනිය. මහ මග සිදු වුණු ඝාතන අතරට නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඉලක්ක වන තරමටම පාතාල කල්ලි මෙහෙයුම් වර්ධනය වී ඇත. පොදු අවකාශයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ජනතාවගේ “ජීවිත ආරක්ෂාව” පිළිබඳ අවිනිශ්චිතභාවයක් වර්ධනය වී ඇත. “ජනතාවගේ ආරක්ෂාව” නොතකා “රාජ්‍ය ආරක්ෂාව” පමණක් කතා කිරීම ප්‍රෝඩාවක් බව අපගේ ස්ථාවරයයි. වර්ථමානයේ පවතින මර්දනය, තර්ජන, ප්‍රචණ්ඩත්වය සහ විවිධ ජන කොටස් මුහුණ දෙන අකටයුතුකම් වෙනස් නොකර රාජ්‍ය ආරක්ෂාව තහවුරු කළ නොහැක.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය

නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු දෙකකි. එහෙත් අද පවතින යථාර්ථය එම මූලධර්මයන්ට බරපතල අභියෝග මතු කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන මුවාවෙන් ගෙන එන රාජ්‍ය ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ පනත ශ්‍රී ලංකාව භුක්ති විඳි ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කප්පාදු කරන, භාෂණ නිදහසට සීමා පනවන කුරිරු නීති කෙටුම්පතක් ලෙස අපි දකිමු. විවිධ නීති යොදා ගනිමින් විපක්ෂය සහ නායකයන් ආණ්ඩුව විවේචනය කරන මතධාරීන් මර්ධනය කිරීමටත්, දේශපාලනික නඩු නිමිති නිර්මාණය කිරීමටත් යොදාගන්නා බව පැහැදිලි ය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් හා බලවතුන් සම්බන්ධ නඩු විභාග කිරීමට තීරණ ගත් විනිසුරුවන් කෙටි කාලයකින් ස්ථාන මාරු කර ඇති බවට බරපතල චෝදනා තිබේ. නඩු භාරව සිටි විනිසුරුවන් මාරු කිරීම, අදාළ පොලිස් නිලධාරීන් මාරු කිරීම හෝ නිශ්ශබ්ද කර තැබීම, සහ අධිකරණය ලබාදුන් අත්අඩංගුවට ගැනීමේ නියෝග ක්‍රියාත්මක නොකිරීම ‍රටට හෙළිදරව් වී ඇත.

අපේ අනාගතය කොයිබටද?

කාන්තා දිනයේදී අප මෙසේ එක් වී ඇත්තේ අපේ අනාගතය වෙනුවෙනි. කාන්තාවගේ වේදනාව හුදෙක් ලේඛනයක් අතර සිර කළ නොහැක. එය දරුවන්ගේ අනාගතයයි. එය වැඩබිමක අවදානමට ලක්වන කම්කරු කාන්තාවගේ හුස්මයි. එය පවුල රැක ගැනීමට විදේශ රැකියාවකට ගොස් දරුවන්ගෙන් වෙන්ව ජීවත් වන අම්මාවරුන්ගේ ජීවන යථාර්තයයි. ඇවුරුදු 200ක් අපේ ආර්ථිකය දැරූ කාන්තාවන්ගේ කැපවීමයි.
පාසල් වයසේ සිසුවියක්, ලිංගික අපයෝජන චෝදනා සහ පසුව පෞද්ගලික ඉගෙනුම් පරිසරයකදී ඇති වූ මානසික පීඩනය හේතුවෙන් ජීවිතයෙන් සමුගැනීමට තල්ලු වීම, කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කිරීමට ඇති යාන්ත්‍රණය ක්‍රියාත්මක අකර්මන්‍ය වී ඇති බවට බරපතල සංඥාවකි.

ජාතික සහ ආගමික සමගිය ට තර්ජනය කිරීම

ජාතිවාදය පිටු දකින මුවාවෙන් ආණ්ඩුව ගෙන යන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජන කොටස් අතර බෙදීම වර්ධනය කිරීමකි. ජනාධිපතිතුමා සහ අගමැතිනිය උතුරේ සහ දකුණේ කරනු ලබන ප්‍රකාශ සහ හැසිරීම් ‍රටාවන් නිසා ඇතිවන බේද සංහිඳියාවට බාධාවකි, තර්ජනයකි.
වෙනසක් පුනුරුදයක් ඇති කරන බවට විශාල හඬක් නැගූ ආණ්ඩුව, මේ වන විට, දූෂිත ගනු දෙනු සහ අක්‍රමිකතාවන් රැසක් වසං කිරීමට පෙර පැවති ආණ්ඩුවල අඩු පාඩු ගැන මහ හඬින් බෙරිහන් දෙයි. ජාතික ජන බල වේග ආණ්ඩුවේ මුල් අවුරුද්දේම හෙළිදරව් වූ කන්ටේනර් 324 නීතිවිරෝධී ලෙස මුදා හැරීම, ප්‍රසන්පාදන ක්‍රියා උල්ලංඝනය කරමින් සිදුකරන ලද මගඩි සහ මේ වන විට විශාල ආන්දෝලනයක් ඇති කරමින් තිබෙන ගල් අඟුරු මිල දී ගැනීමේ වංචාව ආදිය මෙම දේශපාලන නායකත්වයේ සම්පත් එක්රැස් කිරීමේ කෑදර කමට හොඳම නිදසුන් ය. මුදල් මත යැපෙන දේශපාලනයක් ගොඩනගා ඇත්තේ අද රට ආණ්ඩු කරන පාලක පක්ෂය විසින්මය.
කනගාටුදායක කාරණය වන්නේ ප්‍රථමවරට කාන්තාවන් විශාල පිරිසක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිම්න්තුවේ සිටියත්

• ඇඟලුම් කර්මාන්ත ශාලා වැසීයාම ගැන හෝ අවිස්සාවේල්ලේ කර්මාන්තශාලාවක අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නිසි වේලාවට නොදීම නිසා මරණයට පත් කාන්තාව ගැන හඬක් නඟා නැත.
• තමන්ගේ දේශපාලනයේ නියැලෙන කාන්තාවන්ට එල්ලවන සමාජ මාධ්‍ය අපහාස හා ලිංගික ප්‍රචණ්ඩත්වය ගැන විරෝධය පළකරනවා විනා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරියන් සහ කාන්තා නායිකාවන්ට එරෙහිව එල්ල වන ප්‍රචණ්ඩත්වය ගැන නිහඬ පිළිවෙතක් රකිති
• පාසැල් සිසුවියක් ඝාතනය පිළිබඳව ඇමතිවරිය දැක් වූයේ උදාසීන පිළිවෙතකි. ඒ කටයුත්තේ ප්‍රගතිය ගැන ඇය කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නැත.
• දහස් ගණනක් සේවිකාවන්ගේ සහ වෙනත් ක්ෂේත්‍රවල නියැලෙන ශ්‍රමිකයන්ගේ රැකියා අනතුරේ හෙලූ ට්‍රම්ප් ගේ ගෝලීය තීරු බදු ප්‍රතිපත්තිය ගැන කිසිදු හඬ නැගීමක් කළේ නැත.
• දිනෙන් දින උග්‍රවන ජීවන බර ගැන එක මිටට යැයි කියූ කාන්තාවන් අද පක්ෂයේ ග්‍රහණය නිසා මුනිවත රකිති.
• ස්වාධීන කාන්තා කොමිසම අක්‍රීය කිරීමට එරෙහිව හඬක් නගනවා වෙනුවට එහි බලය සියතට ගැනීමට පියවර ගැනීම.
51% වන මේ රටේ කාන්තා පරපුර මෙතෙක් භුක්ති විඳි සමාජ-ආර්ථික-දේශපාලන-අයිතිවාසිකම් ජා.ජ.බ යේ පුරුෂාධිපතික ග්‍රහණයට නතු කර දැමීම කණගාටුවට කරුණකි. එක මිටට ඔවුන් ප්‍රවර්ධනයන කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය මිසක ජාත්‍යන්තර සම්මුති අනුව ගොඩනැගුණු මානව අයිතිවාසිකම් වලින් පෝෂණය වූ සමානත්මතාවය නොවේ.
කාන්තාවන් වශයෙන් අප දිනාගත් අයිීතීන් එකිනෙක අපෙන් උදුරා ගැනීමට පක්ෂයකට ඉඩ දිය නොහැක. අප භුක්ති විඳි දේශපාලන සංස්කෘතිය ගොඩ නැගුනු බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ඉඩ දිය නොහැක. කාන්තාවන්ගේ මානව හිිමිකම් ගොඩනැගෙන එකිනෙකාට ගරු කරන සංස්කෘතික පදනමකින් යුත් සමාජ සම්බන්ධතාවන් විකෘති කිරීමට ඉඩ දිය නොහැක. කම්කරු ශ්‍රමිකයන්ගේද, වතුකරයේ කාන්තාවන්ගේද, අයිතිවාසිකම් ව්‍යාපාරික ප්‍රජාව ගේ අභිමතය පරිදි හැසිරවීමට ඉඩ දිය නොහැක.

දිට්වා සුළි කුණාටුවෙන් ගොඩ නැගෙන මේ රටේ ඉදිරි අනාගයේ නියමුවන් විය යුත්තේ, අප රටේ ජනගහණයෙන් 51% වන කාන්තාවන් ගේ අයිතිවාසිකම් සහ යුක්තිය වෙනුවෙන් මැදිහත් වීමට හැකි ඒ වෙනුවෙන් ක්‍රියා කරණ පිරිස වන අතර අපි ඒ වෙනුවෙන් පෙරමුණ ගනිමු.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය, නව ජනතා පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, දමිල ප්‍රගතිශීලි සංධානය

Social Sharing
නවතම පුවත්