සැකකරුවෙකුට අමානුෂික වධහිංසා කළ නාකොටික් නිලධාරීන් තිදෙනාට වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවම්!

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර අත්අඩංගුවට ගත් පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනෙකුට මීගමුව මහාධිකරණය විසින් වසර හත බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

මෙම තීන්දුව මීගමුව මහාධිකරණ විනිසුරු කවින්ද්‍යා නානායක්කාර මහත්මිය විසින් අද (13) ප්‍රකාශයට පත් කර ඇති අතර, උපපොලිස් පරීක්ෂක අසංග රමේෂ් අමරසිංහ සහ පොලිස් කොස්තාපල්වරුන් වන අරුණ දිනේෂ් හා තිළිණ උදයංග යන නිලධාරීන්ට මෙම දඬුවම් නියම කර ඇත.

2018 වසරේ නොවැම්බර් මාසයේදී මෙම සිදුවීම සිදුව ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය. සිය පස් හැවිරිදි පුතු සමඟ සිටියදී අත්අඩංගුවට ගත් සීනි මොහොමදු නෞකර් නදීප් නමැත්තා සන්තකයේ මත්ද්‍රව්‍ය ඇතැයි පවසමින් දැඩි ලෙස ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඔහුගේ හිසට පොලිතින් බෑගයක් දමා හුස්ම හිර කිරීම, මුගුරක් ආධාරයෙන් දෑත් බැඳ බැරල් මත තබා පහර දීම සහ ලිංගික අවයව වලට දැවිල්ල සහිත ද්‍රව්‍ය ආලේප කිරීම වැනි කෲර වධහිංසා පැමිණවූ බවට සාක්ෂි ඉදිරිපත් විය.

අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව වින්දිතයාගේ සිරුරේ බාහිර තුවාල 11ක් නිරීක්ෂණය වී ඇති අතර, පහරදීම් හේතුවෙන් ඔහුගේ දෑත් අප්‍රාණික තත්ත්වයට පත්ව තිබූ බවද සනාථ කර ඇත. සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන අවස්ථාවේදී පවා තුවාල වසා ගැනීමට බලපෑම් කර ඇති බවත්, මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම සිදුවන තෙක් ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුන් බවත් විනිසුරුවරිය සිය තීන්දුවේදී සඳහන් කළාය.

පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව නිගමනය කළ අධිකරණය, රාජකාරිමය බලය අවභාවිත කරමින් සිදුකළ මෙම අමානුෂික ක්‍රියාව දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළේය. සිරදඬුවමට අමතරව, වින්දිතයාට සිදුවූ අගතිය වෙනුවෙන් වන්දි ගෙවීමටද නියෝග කර ඇති අතර, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් සිදුකරන වධහිංසා පැමිණවීම්වලට එරෙහිව ලබාදුන් ප්‍රබල අධිකරණ තීන්දුවක් ලෙස මෙම නඩු තීන්දුව සැලකේ.

Social Sharing
නවතම පුවත්