ඉත්තපාන ප්‍රදේශයේ පුහුණු කම්කරුවෙකු වන රාජමුනි සුනිල් දයානන්ද (48)වන අයව ඉත්තපාන පොලිස් නිලධාරීන් විසින් ව්‍යජ කසිප්පු නඩුවෙහි වරද පිළිගන්නා ලෙස තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා වේ. ඒ අනුව ඔහු එම ව්‍යාජ නඩුව පිළිනොගතහොත් හක්කපටස් ඔහු සතුව තිබුණා යැයි ව්‍යාජ නඩුවක් ගොනුකොට හයිකෝට් දමන බවට ද තර්ජනය කර ඇත.
ඔහු පවසන ආකාරයට ඉකුත් පෙබරවාරි නව වන දින උදෑසන තම බිරිඳ හා තවත් අය සමඟ තේ දළු නෙලමින් සිටියදී, සිවිල් ඇඳුමින් එම ස්ථානයට පැමිණුන ඉත්තපාන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් හේතුවක් සඳහන් නොකොට කටඋත්තරයක් ලබා ගැනීම සඳහා ඔවුන් සමඟ පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස සඳහන් කර ඇත.
පොලිස් ස්ථානයට යෑමෙන් අනතුරුව කිසිදු චෝදනාවක් නොදන්වා බංකුවක වාඩි කර තබා පසුව සිරමැදිරියට දැමූ බවට ඔහු චෝදනා කළ අතර ඔහු සඳහන් කරන ආකාරයට ස්ථානාධිපතිවරයා තවත් නිලධාරින් දෙදෙනෙකු ඉදිරියේදී පවසා ඇත්තේ “වරද භාර නොගත්හොත් හයි කෝටි දමා හක්කපටස් දාලා මාස ගණනකට බන්ධනාගාරයට යවනවා” යනුවෙන් ද තර්ජනය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
තවද එදින රාත්රියේදී තමන්ට කිසිදු පැහැදිලි කිරීමක් නොකර ඔහුගේ ඇඟිලි සලකුණු කොළ තුනක සටහන් කරගත් බවත්, නම ලිපිනය සටහන් කර අත්සන් ලබා ගත් බවත්, එහි අන්තර්ගතය කියවීමට හෝ තේරුම් කර හෝ නොදුන් බවටත් ඔහු චෝදනා කර සිටියි.
පසුදින එනම් පෙබරවාරි 10 වන දින, තමන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, කසිප්පු බෝතල් 24ක් තබා ගත් බවට 32466/26 යටතේ නඩුවක් ගොනු කර තිබූ බවත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් පෙර වරද පිළිගන්නා ලෙසත් එසේ නොකළහොත් පෙර කියූ ලෙස හයිකෝට් යවන බවටත් තර්ජනය කර ඇති අතර, තමන් එම චෝදනාව ප්‍රතික්ෂේප කර නිවැරදිකරු වී ඇති අතර එහිදී ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරූ බවටත් ඔහු පවසා සිටියි.
සුනිල් දයානන්ද මහතා අවධාරණය කරන්නේ, අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන් සන්තකයේ කිසිදු නීතිවිරෝධී මත්පැන් නොතිබූ බවත්, මෙය හිතාමතා ගොනු කළ ව්‍යජ නඩුවක් බවත්ය.
ඔහුට සඳහන් කරන ආකාරයට අනුව, 2021 වර්ෂයේද තමන්ට මෙවැනිම ව්‍යජ නඩුවක් දමා පසුව අධිකරණයෙන් නිදහස් කළ අතර, 2023 වර්ෂයේදී තම ත්‍රිවිල් රථය පොලිසිය විසින් රැගෙන ගොස් මුදල් හා යතුර සොරකම් කළ බවට තමන් සහ මව පැමිණිලි කළ පසු සිටම එම සිද්ධියට පළිගැනීමක් ලෙස මෙවැනි ව්‍යාජ නඩුවක් ගොනු කළ බවටත් ඔහු චෝදනා කරයි.
තවද, මවගේ නිවසේ වතුර මෝටරය සොරකම් කිරීම හා වත්තට ඇතුල් වී ගස් කපා බලහත්කාරයෙන් පාරක් කැපීම සම්බන්ධයෙන් මෙම වසරේ ජනවාරි 21 දින CIB 56/21 ලෙස කළ පැමිණිල්ල ද අධිකරණයට යොමු නොකළ බවට ඔහු චෝදනා කරයි.
මෙවැනි ව්‍යාජ චෝදනා, පොලිස් වධ හිංසනයන් සඳහා ඔබත් ලක්වන්නේ නම් එවැනි සිදුවීම් වලට එරෙහිව නීතිමය පියවරක් ගැනීමේ අයිතිය ඔබ සතුව ඇත. ඔබත් එවැනි සිදුවීම්වලට මුහුණ දුන් අයෙක් නම් අදම අපගේ දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයකට හෝ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයට අදම පැමිණෙන්න.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය – 011 2669100

