අපහාස සම්බන්ධ පැමිණිලි අපරාධ විමර්ශන අංශ වෙත භාරගැනීම හා විමර්ශනය කිරීම වැළැක්විය යුතුයි – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශ වෙත “අපහාස” සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි භාරගැනීම සහ විමර්ශනය කිරීම වැළැක්විය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ බලවත් චරිත තමන් පිළිබඳ අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය වේදිකාවල ප්‍රකාශිත බවට කියන වැරදි හෝ අපහාසකාරී ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස් විශේෂිත අංශ වෙත පැමිණිලි කිරීමේ වැඩිවන ප්‍රවණතාවක් පදනම් කරගෙන මෙම නිර්දේශ ඉදිරිපත් කළ බව කොමිෂන් සභාව නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වේ.

“අපහාසාත්මක යැයි කියන ප්‍රකාශ” ශ්‍රී ලංකාවේ සාපරාධී වරදක් නොවන බව සිහිපත් කරමින්, එවැනි පැමිණිලි වාර්තා කිරීමෙන්, භාරගැනීමෙන් හෝ විමර්ශනය කිරීමෙන් වැළකිය යුතු බව පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසියේ සියලු අංශ සහ පොලිස් ස්ථාන වෙත නියමයක් මඟින් දැනුම් දිය යුතු යැයි කොමිෂන් සභාව අවධාරණය කරයි.

උපකල්පිත අපහාස සම්බන්ධයෙන් පමණක් පැමිණිලි භාරගෙන විමර්ශන සිදු කිරීම හරහා ප්‍රකාශන නිදහස සහ අන්තර්ජාල ආරක්ෂාව අවහිර කිරීමේ ප්‍රවණතාවක් මතුවෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

තවද, අදහස් හා මතවාද ප්‍රකාශ කිරීම සහ එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සම්බන්ධ වීම සියලු පුරවැසියන්ට අත්‍යවශ්‍ය මූලික අයිතියක් වන අතර, එය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මඟින් ද තහවුරු කර ඇති බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ප්‍රකාශන අයිතියට අත්‍යවශ්‍ය නොවන, සාපේක්ෂ නොවන සහ අසාධාරණ සීමා පැනවීම සමාජයට දැඩි අවදානමක් බවත්, එවැනි සීමා ජනතාව අතර අප්‍රසාදය සහ නොසන්සුන්තාවය ද ඇති කළ හැකි බවත් කොමිෂන් සභාව අවධාරණය කරයි.

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් අනුව දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් වැනි මහජන නියෝජිතයන්, සාමාන්‍ය පුරවැසියන්ට වඩා විවේචන සම්බන්ධයෙන් වැඩි ඉවසීමක් දැක්විය යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, අපහාසාත්මක බවට උපකල්පිත ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මත අධික ලෙස රඳා නොපැවැතිය යුතු බව කොමිෂන් සභාව කියා සිටී.

තවද, “මාර්ගගත ආරක්ෂණ පනත” වෙනුවට සුදුසු නීතිමය ආරක්ෂාවන් සහිත නව පනතක් හඳුන්වා දෙන තෙක්, එම පනතේ භාවිතය අත්හිටුවීමක් ප්‍රකාශයට පත් කළ යුතු බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

අදහස් හා මතවාද ප්‍රකාශ කිරීමේ නිදහස මාර්ගගත වේදිකා ද ඇතුළු ඕනෑම මාධ්‍යයක් හරහා සිදුකරන සියලු ආකාරයේ ප්‍රකාශනවලට අදාළ වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Social Sharing
නවතම පුවත්