වැලිපැන්න පොලීසියෙන් පළිගැනීමේ චේතනාවෙන් ව්‍යාජ නඩු?

වැලිපැන්න පොලීසියේ නිලධාරීන් විසින් පළිගැනීමේ චේතනාවෙන් ව්‍යාජ නඩු ගොනු කර පුද්ගලයෙකු බන්ධනාගාරගත කර ඇති බවට බරපතළ චෝදනා එල්ල වේ. ඒ රුක්අත්තනතුඩුව, මීගම, දර්ගා නගරය පදිංචි දන්දෙනිය ආරච්චිගේ රේණුකා මල්කාන්ති මහත්මිය පවසන ආකාරයට ඇයගේ ස්වාමිපුරුෂයා වන මාරිංග අජිත් කුලතුංග මහතා 2026 ජනවාරි 17 වන දින වැලිපැන්න පොලීසියේ නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන පහරදී, පසුව ව්‍යාජ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කළ බවයි.

ඒ එදින තම පුතා රෝහල්ගතව සිටි අවස්ථාවක රෝහලෙන් නිවසට පැමිණි මොහොතේ, යතුරුපැදි සහ පොලිස් ත්‍රී රෝද රථයකින් පැමිණුන නිලධාරීන් ඇයගේ ස්වාමිපුරුෂයාට පහරදී, යට ඇඳුම් පමණක් ඇඳ සිටියදී බලහත්කාරයෙන් වැලිපැන්න පොලීසියට රැගෙන ගිය බවයි. එහිදී ඇය ඔහුට පහර නොදෙන ලෙස ඉල්ලා සිටින විට තමන්ටද අසභ්‍ය ලෙස බැණ වැදී පන්නා දැමූ බවත් ඇය චෝදනා කරයි.

පසුදින ඇය පොලීසියට ගොස් සිය සැමියාව බැලීමට උත්සහ කළ විට අත්අඩංගුවට පත් සිය ස්වාමියා බරපතළ තුවාල සහිතව, ඇවිද ගැනීමට අපහසු තත්ත්වයක සිට ඇත. ඇය ඒ පිළිබඳව සිය සැමියාගෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කර ඇත්තේ පෙර දින ඔහුව රැගෙන ආ අවස්ථාවේ ඔහුව බිම දිගා කොට පොල්ලකින් පහර දුන් බවත් සහ සපත්තු පැළඳි කකුල්වලින් පහර දුන් බවත් ඔහු විසින් පවසා ඇත.

මෙම සිද්ධියෙන් පසු ඔහු කටුගහහේන රෝහලට රැගෙන ගොස්, පසුව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර “හක්කපටස් සන්තකයේ තබා ගැනීම” සහ “රාජකාරියට බාධා කිරීම” යන චෝදනා යටතේ නඩු දෙකක් ගොනු කර ඇති බවත්, ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් පාර්ශවය පවසයි.

මෙයට පෙර, 2026 ජනවාරි 16 වන දින ඥාතී නිවසක පැවති සත්දින බණ පිංකමක් අතරතුරද, වැලිපැන්න පොලීසියේ නිලධාරීන් බීමත්ව පැමිණ එහි සිටි පිරිසට පහරදී කලහකාරී ලෙස හැසිරුණු බවටද චෝදනා එල්ල වී ඇත. එහිදී පොලීසියේ ක්‍රියාවට විරෝධය පළ කළ නිසා මෙම පළිගැනීම සිදු වූ බව පවුලේ අය චෝදනා කරති.

මෙම නිලධාරීන් විසින් මීට පෙරද හක්කපටස් චෝදනා ගොනු කරන බවට තර්ජනය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් 2025 සැප්තැම්බර් 15 වන දින මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද ගොනු කර ඇත.

 

Social Sharing
නවතම පුවත්