මෙරට පස් දෙනෙකුගෙන් එක් අයෙක් මානසික අවපීඩනයෙන්.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 10 ත් 24 ත් අතර සිටින තරුණ ප්‍රජාව අතර මානසික අවපීඩන 39% ක් තරම් ඉහළ ප්‍රතිශතයක පවතින බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පවසා සිටියේ ඒ ඊයේ දිනයේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ශත සංවත්සරය වෙනුවෙන් මුල්ලේරියාවේ පිහිටි ජාතික මානසික විද්‍යායතනයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ය.

මානසික රෝග ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ලෙස වර්ධනය වන මහජන සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය සියලු වයස් කාණ්ඩවල ප්‍රජාවන්ට බලපාන බවත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 13% ක් පමණ මානසික සෞඛ්‍ය පීඩාවෙන් පෙළෙන අතර එම පිරිසෙන්  3% ක් පමණ දෛනික ක්‍රියාකාරිත්වය අඩාල කරන දැඩි ආබාධවලට මුහුණ දෙන බවත් ඒ මහතා කීය.

එතුමා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් එසේ නම් 19% ක් පමණ මානසික අවපීඩනයෙන් පෙළෙන බවත්  සියදිවි නසාගැනීම ගෝලිය වශයෙන් සහ ජාතික වශයෙන් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බව ද කීය.

ලොවපුරා වාර්ෂිකව සියදිවි නසාගැනීම් ලක්‍ෂ 7 ක් පමණ වාර්තා වන අතර 2022 වසරේ පොලිස් දත්ත වාර්තාවලට අනුව එම වර්ෂයේ ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂයක් පමණ සියදිවි නසාගෙන ඇති බවත් නව යොවුන් වියේ පසුවන ජනගහනය අතර මානසික ගැටලු වඩාත් බරපතල තත්වයක් බවත් ඒ මහතා කීය.

20% ක් පමණ තනිකම හේතුවෙන්, 18% ක් පමණ අඛණ්ඩ මානසික අවපීඩන රෝග ලක්‍ෂණ, 15% ක් පමණ සියදිවි නසා ගැනීම ගැන බැරෑරුම් ලෙස සළකා තිබීම සහ 10% ක් පමණ විශේෂයෙන් ගැහැණු ළමයින් සියදිවි නසාගැනීමේ උත්සහයන් කරඇති බවත් කී වෛද්‍යවරයා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය, කල්තියා හදුනාගැනීම සහ රෝගීන්ට පහසුවෙන් ප්‍රතිකාරගැනීමට හැකි මාර්ග විවර කිරීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානසික යහපැවැත්ම සහතික කිරීමට අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.

මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂිත රෝහල් වැඩිදියුණු කිරීම, ප්‍රජා මූලික සත්කාර සහ ප්‍රථමික සෞඛ්‍ය සේවාවන්ට මානසික සෞඛ්‍ය ඒකාබද්ධ කිරීම තුළින් මානසික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමෙන් ශ්‍රී ලංකාව කැපී පෙණෙන ප්‍රගතියක් ලබා ඇති බව ද වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසීය.

Social Sharing
නවතම පුවත්