ගල් අගුරු බලාගාරෙටත් විරුද්ධයි..? සුළං බලාගාරෙටත් විරුද්ධයි.?? – දුලාන් දසනායක

කවුද මේ එකිනෙකට පරස්පර ස්ථාවර වල ඉදන් කටයුතු කල හැකි දේශපාලන අවස්ථාවාදය හැදුවේ. තමන් හදපු දේශපාලන අවස්ථාවාදය තමන්ටම අභිමුඛ වෙලා දැන් තියෙන්නෙ.

දැන් පුළුවන් කොළඹ මැද පන්තියට මේ ගැන කතා කරන්න.

බලශක්තියෙන් පුළුවන් තරම් සැප ජීවිතයක් ඕන, ඒ බලශක්තිය අඩු මිලටත් ඕන, නමුත් බලශක්ති ව්‍යාපාරය ආණ්ඩුවේ ඒකාධිකාරයක් වෙන්න ඕන, ගල් අගුරු බලාගාර හදන්න බෑ පරිසර විනාශය නිසා, සුළං බලාගාර හදන්න බෑ ඉඩම් ප්‍රශ්න නිසා, අදානි නිසා ඉංදියාව නිසා, පරිසර ප්‍රශ්න නිසා. මේක නෙමේද  මැද පන්තියේ පරස්පරය. ව්‍යාපෘතියකින් වෙන හානි වළක්වන්න මොන ක්‍රම තිබ්බත් ඒවා ගැන කරන සාකච්ඡාවකට වඩා බලවත් මැද පන්තිය ආස කරන ජනප්‍රිය සටන් පාඨ.

මැද පන්තියේ බොරුකාර පරස්පරයන් නඩත්තු කරන දේශපාලන ව්‍යාපාර සියල්ල ලංකාවේ ජයග්‍රහණය කරලා තියනවා. පොහොට්ටුව කියන්නෙ ඒක. පොහොට්ටුව තමයි මේ මැද පන්තියේ පරස්පරයන් හොදින් නඩත්තු කරලා මැද පන්තිය සුදනො කරගෙන හිටිය ව්‍යාපාරය.

ඒ ව්‍යාපාරය බිද වැටුනෙම අවසානෙ ඒකෙන්මයි. එහෙම බිද වැටෙනකොටම මැද පන්තියේ මේ පරස්පරයන් මැද පන්තිය තුළම සාකච්ඡාවට ලක් වුනා. නමුත් ඒ සාකච්ඡාව යටපත් කරගෙන තමයි ජාතික ජනබලවේගය මතු වෙන්නෙ. ඒකෙ මූලිකම අරමුණ පොහොට්ටුවේ පිරිහීමෙන් ආපු රික්තකය පිරවීම. ඒ කියන්නෙ අවස්ථාවාදී මැද පන්තියට දේශපාලන නායකත්වය දීම. පොහොට්ටුව වෙනුවට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නෙ පොහොට්ටුව වගේම මැද පන්තිය සුදනො කරලා පරස්පරයන් නඩත්තු කරන ව්‍යාපාරය බවට ජාජබ පත්වීමෙන්.

රනිල් හැම වෙලේම මැද පන්තියේ සතුරා වෙන්නෙ ඔහු මේ මැද පන්තියේ අවස්ථාවාදය එළිදරව් කරනවා, මැද පන්තිය ප්‍රශ්න කරනවා. ඒ නිසා ඔහු පරාජය වෙනවා.

මේ කෙසේ වුවත් ජාජබ නායක අනුර කුමාර පොහොට්ටුවේ රික්තකය පුරවමින් ජනාධිපති වුනාට ගෝටාභය වගේ මැද පන්තියට අවංක වෙන්න යන්නෙ නෑ. ඔහු දන්නවා මැද පන්තියේ හැටි. ඒ නිසා මැද පන්තිය ශේප් කරන් රනිල් ගෙන ගිය IMF වැඩසටහන කරගෙන යනවා. එක එක වංගු ගගහා තමන්ගෙ පාක්ෂිකයන්වයි මැද පන්තියයි හොල්මන් කරවමින් ධනේෂ්වර ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතේ යන එකතමයි අනුර කුමාර ජනාධිපති තුමා කරන්නෙ. මැද පන්තියට දීපු පොරොන්දු ගෝටාභය වගේ අවංක වෙලා නොකර මේ කරන වැඩේ ගැන අපි සතුටුවෙන්න ඕන.

නමුත් ඔහු ඉක්මනින්ම මැද පන්තියේ පරස්පරය ප්‍රශ්න කරන අවස්ථාවාදය එළිදරව් කරන දේශපාලන වැඩේ සිදු කරන්න ඕන. ඒකෙ යම් දුරක් රනිල් ආවා. ජනාධිපතිට ඒ සදහා තිබෙන ලොකුම අභියෝගය තමයි තමන්ගේම දේශපාලන ව්‍යාපාරය මේ අවස්ථාවාදයන් කාලාන්තරයක් තිස්සේ නඩත්තු කර තිබීම. ඒ කෙසේ වුවත් ඔහු සිදු කල යුතු දේශපාලන වැඩේ ඒක. මැද පන්තිය ප්‍රශ්න කිරීම දේශපාලනික ජයග්‍රහණයක් නොලැබීමට හෝ පරාජයට හේතුවක් වුනත් ඒ සාකච්ඡාව ජයග්‍රහණය කිරීම රාජ්‍යයේ වර්ධනයට වැදගත්. ඒ යෂ්ටිය රනිල්ගෙන් දැන් අනුර අරන් තියෙන්නෙ. රාජ්‍යයේ සංවර්ධනයේ පදනම තියෙන්නෙ මැද පන්තියේ අවස්ථාවාදයන් එළිදරව් කරලා මැද පන්තිය ඇත්ත අරමුණු වෙනුවෙන් පන්තියක් ලෙස සංවිධානය කිරීමෙන් පමණයි.

 

Social Sharing
අවකාශය නවතම