ප්‍රභාත් කුමාරගේ අවසන් කටයුතු 27 සෙනසුරාදා මාලඹේදී…

ඉකුත් බ්‍රහස්පතින්දා අලුයම දිවියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී  ප්‍රභාත් කුමාරගේ අවසන් කටයුතු සැප්තැම්බර් 27 සෙනසුරාදා පස්වරු 5ට  මාලඹේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ‘අනාගතයේ අපේ  අපේ අතේ’   සිවිල් සංවිධානය හරහා සුවිශේෂ සමාජ මෙහෙයක් කළ  ප්‍රභාත් කුමාර මියයන විට 77වියේ පසු විය. දේහය අවසන් ගෞරවය සඳහා බදුල්ල කණුපැනැල්ල  ‘අනාගතේ අපේ අතේ’ සංවිධාන කාර්යාලයේ  26 වන සිකුරාදා උදෑසන සිට පස්වරු 4 දක්වා තැන්පත්කර ඇත. අනතුරුව දේහය  27වන සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා   තලංගම කොස්වත්තේ මහින්ද පනාගොඩ අවමංගල ශාලාවේ  ‘ටියුලිප්’හි අවසන් මහජන ගෞරවය සඳහා තැන්පත්කර තිබේ.

දශක හතරක පමණ කාලයක් මා  දැන සිටි ප්‍රභාත් සමග වසර විස්සක් පමණ පාරිසරික සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉතා සමීපව  කටයුතු  කරන ලදී. දේශීය සහ විදේශීය වැඩසටහන් ගණනාවකට ඔහු සමග සහභාගිවීමේදී  අප ලබාගත්  අත්දැකීම් බොහෝය. ඌව පළාතේ ප්‍රකට ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වූ ප්‍රභාත්  ඌව පළාතේ මාධ්‍යවේදීන් සවිබල ගැන්වීම සඳහා  අසූවේ  සහ අනුවේ   දශක දශකයන්හි කළ සේවයන් ඉමහත්ය. සැබෑ මානව හිතවාදියෙකු වූ හෙතෙම  මාධ්‍ය නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රය අයිතීන් වෙනුවෙන්  කළ සේවය සැමගේ ඇගයුමට ලක්වනු නියතය. විශේෂයෙන්ම  පරිසරවේදියෙකු ලෙස  ඔහු  ජාතික තලයේ සංවිධාන සමඟ  සහෝදරාත්මකව කටයුතු කළ අතර ආදි වාසීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටි  ප්‍රමුඛයෙකි. දක්ෂ සහභාගීත්ව සංවර්ධන පුහුණුකරුවෙකි.

වසර 1948  ජනවාරි 17 වනදා මාතරදී උපන්  ගොඩේවත්තආරච්චිගේ  ප්‍රභාත් සෝමකුමාරගේ පියා විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ අතර වාමාංශික ව්‍යාපාරයේ  ප්‍රකට ක්‍රියාකාරිකයෙකි. මියයන විට දෙදරු පියකු වූ  ප්‍රභාත්ගේ බිරිඳ රාජලක්ෂ්මි වූ අතර දුව රිද්මා (38) සහ  පුත්‍රයා වූයේ දර්ශන (32)ය. එකම මිනිබිරිය වූයේ රායාවසිරාණිය. ‘අනාගතේ අපේ අතේ’  සංවිධානය  1981 දී ගොඩනැගූ ප්‍රභාත් කුමාර මෙයට තෙවසරකට පෙර එම සංවිධානයේ සභාපති තනතුරෙන්  සමුගත්තේය.

ප්‍රභාත් කුමාරට සොයුර සොයුරියන්  5 දෙනෙකු සිටි අතර ඉන් වැඩිමලා වූයේ ඔහුය. පවුලේ දෙවැන්නා වූයේ  දෙටු ප්‍රවීණ මාධ්‍යවේදියෙකු  වූ  (දිවංගත) බන්දුල පද්මකුමාරය. සෙසු අය වූයේ  කොළඹ සරසවියේ හිටපු කථිකාචාර්ය කුමුදු කුසුම්, දේවගැති තුසිත සිරිකුමාර, විශ්‍රාමික ගුරුවරියන් වූ  වජිරාකුමාරි, කුමුදුනි චන්ද්‍රකුමාරි සහ වෛද්‍ය නිලාණි  කුමාරිය.

ධර්මන් වික්‍රමරත්න

Social Sharing
නවතම පුවත්