
මෙයට වසර 11කට පෙර සමාජයේ බෙහෙවින් ආන්දෝලනයට ලක් වූ සිදුවීමක් වූ පාසල් වෑන් රථ රියැදුරකු විසින් කොළඹ අවට ජනාකීර්ණ පාසලක 4 වසර සිසුවියක පාසල් වෑන් රථය තුළ බරපතළ ලෙස අපයෝජනයට ලක්කළ 68 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඊයේ (18දා) බරපතළ වැඩ ඇතිව වසර 25ක සිරදඬුවමක් නියම කළේය.
එම දඬුවමට අමතරව රුපියල් 30,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ 5ක මුදලක් වන්දි ගෙවීමට නියම විය. එම දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතර සිරදඬුවම් නියම කෙරිණි.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ ජනප්‍රිය පාසලකට දරුවන් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථයක රියැදුරකු ලෙස සේවය කරන එක්දරු පියකුටය.
විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනය කිරීම ඇතුළු අධිචෝදනා දෙකක් ඉදිරිපත් කෙරිණි. පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව චෝදනා සනාථ කර ඇති බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරිපත් වූ චෝදනා දෙකටම විත්තිකරු වැරැදිකරු කළේය.
දඬුවම් නියම කිරීමේදී එම චෝදනාවට වැරදිකරු වන තැනැත්තකුට නියම කළ උපරිම දඬුවම් නියම කෙරිණි.
චූදිතයා මනුෂ්‍ය සංහතියටම නිගාවක් බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය. විත්තිකරු ඒ අවස්ථාවේ දරුවන්ගේ භාරකරු ලෙස කටයුතු කරමින් මේ අපරාධය කිරීම බරපතළ කාරණයක් බව කියා සිටියේය. බාල වයස්වල දරුවන් සිටින මවුපියන් තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන මෙයට වඩා සැලකිලිමත් වන්නේ නම් දරුවන් විෂයෙහි වන බොහෝ අපරාධ වළක්වා ගත හැකි බව කියා සිටියේය.
විත්තිකරුට එරෙහිව 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ 345 සහ 365 (අ) යටතේ චෝදනා ගොනුකර තිබිණි.
නඩුවේදී වින්දිත දැරියගේ මව සාක්ෂි දෙමින් වසර දෙකකට ආසන්න කාලයක් දැරිය චූදිතගේ වාහනයේ ගමන්කර ඇති බව කීවාය. එමෙන්ම ඔහු තමන්ගේ නිවෙසට ආසන්නයේ පිහිටි නිවෙසක ජීවත් වූ බවත් ඔවුන්ගේ පවුල තමන් සමඟ හිතවත් බැවින් මෙවැනි අතවරයක් චූදිත අතින් සිය දැරියට සිදුවේ යැයි කිසිසේත් අපේක්ෂා නොකළ බව කියා සිටියාය.
තමන්ගේ දියණියට අතවරයක් සිදුව ඇති බව දියණියගේ මිතුරියකගේ මවක් පැවසූ විට තමා ඒ ගැන ඇගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වූ බව ප්‍රකාශ කළාය. එවිට දුව අඬමින් මේ සිද්ධිය හෙළි කළ බව සාක්ෂි දෙමින් කියා සිටියාය.
“අම්මලා ඒ ගැන ඇහුවම, ඒ අංකල් මාව මරයි කියලා බය හිතුණා. ඒ නිසා මම කිව්වේ නැහැ“ යනුවෙන් සිය දියණිය පැවසූ බව වින්දිත දැරියගේ මව අධිකරණයට දැනුම් දුන්නාය. සිද්ධිය දැන ගැනීමෙන් පසු තමා විත්තිකරුගෙන් ඒ පිළිබඳ විමසූ විට මුලින් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ විත්තිකරු “පාසල් වෑන් රථයේ ගමන් ගන්නා දරුවන් තමන්ට ආදරෙයි“ යැයි කියා සිට පසුව වරද පිළිගත් බව පැවසුවාය. දැරියගේ මව පොලිසියට පැමිණිලි කරන බව දැන්වූ අවස්ථාවේ “වඳින්නම් ගෙදරට කියන්න එපා“ යනුවෙන් කී බව පැවැසීය.
වින්දිත දැරිය සාක්ෂි දෙමින් තමා මව සහ බාප්පා සමඟ පාසල් යාම කරන අතර පාසල් කටයුතු නිමවීමෙන් පසු පාසල් වෑන් රියෙන් නිවෙසට පැමිණි බව කියා සිටියාය.
පාසල් වෑන් රථයේ ළමයින් 10කට ආසන්න ප්‍රමාණයක් ගමන්කර ඇති අතර මුලින්ම නිවෙසට ඇරලවිය යුතු තැනැත්තියව ඇත්තේ වින්දිත තැනැත්තියයි. ඇය ඇරලවීම වෙනුවට අනෙකුත් ළමයින් නිවෙස්වලට ඇරලවීමෙන් පසු දැරිය ඇරලවීම කර ඇත.
සියලු දෙනාම බැස ගිය පසු පාළු ස්ථානයක වාහනය නවත්වා ඇති චූදිත දැරියට රස කැවිලි දී රවටා බරපතළ ලෙස අපයෝජනය කිරීම කර ඇත. දිගින් දිගටම රියැදුරුගෙන් කරදර වීමෙන් පසු ඒබව පාසලේ ක්‍රීඩා තරඟයක් අතරතුර දැරිය යෙහෙළියකට පවසා ඇත. තමාට ද රියැදුරුගෙන් එවැනි කරදර සිදුව ඇති බව මිතුරිය පිළිතුරු දී ඇත. කටින් කට පන්තියේ සියලු සිසුන් අතර සිදුවීම පැතිර ගොස් ඇති අතර, එවිට කිහිප දෙනකු එම අත්දැකීමට ලක්ව ඇති බව අනාවරණය විය. නමුත් පොලීසියට පැමිණිල්ලක් කර ඇත්තේ වින්දිත තැනැත්තියගේ මව පමණි. ඇගේ ඉදිරිපත්වීම නිසා චූදිතයකුට නීතිය ඉදිරියේ දඬුවම් හිමි විය.
අධිනීතිඥ ධම්මික උඩවත්ත මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර පොලිස් කොස්තාපල් එම්.එම්.එස්. ලක්ෂාන් (84742) ලේඛන ඉදිරිපත් කළේය. රියැදුරා අවු.25ක් හිරේට..
