
2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා වාර්තා වූ ගාසා තීරයේ පලස්තීනුවන්ගේ මරණ සංඛ්‍යාව ඊයේ දිනය වනවිට (29) 60,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඉන් අඩක් පමණ කාන්තාවන් සහ ළමුන් බවට ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම සංඛ්‍යාත්මක දත්ත පිළිගත හැකි බව පවසද්දී, ඇතැම් ස්වාධීන අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ, මරණ සංඛ්‍යාව මීටත් වඩා ඉහළ අගයක් විය හැකි බවයි. ඒ අනුව දින 662ක් තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 60,000කට වැඩි පිරිසක් මිය යාම දිනකට පුද්ගලයින් 90කට වැඩි සංඛ්‍යාවක් මිය යාමක් විදියට සැලකිය හැකියි. ගාසා තීරයේ පලස්තීනුවන් 1,45,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, තවත් ගණනක් සුන්බුන් අතර අතුරුදන් වී ඇති බවත් ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර මානුෂීය ආධාර මෙහෙයුම් සඳහා දිවා කාලයේ පැය 10ක් අත්හිටුවන බව ප්‍රකාශ කළත් රාත්‍රියේ එම ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඊශ්‍රායලය ගාසා තීරයේ සියලු ප්‍රදේශවල එම තාවකාලික සටන් නැවැත්වීම ක්‍රියාත්මක කරන්නේත් නැහැ.
මේ ආකාරයට සඳුදා රාත්‍රියේ නුසෙයිරට් සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්රහාරකින් පලස්තීනුවන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම ජීවිතක්ෂයට පත් වූවන් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බවත් ඉන් අනතුරුව ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඊශ්‍රායලය ගාසා තීරයේ සියලු සැපයුම් පසුගිය මාර්තු මාසයේ අවහිර කර තිබූ අතර මැයි මාසයේ නැවතත් ආහාර සැපයුම් ආරම්භ කර ඇත්තේ අමෙරිකානු ඊශ්‍රායල සහාය ලබන ගාසා මානුෂීය ආධාර පදනම හරහා වුවත් එම ආහාර ආධාර ලබාගැනීමට පැමිණි පලස්තීනුවන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් ඊශ්‍රායල වෙඩි ප්‍රහාරවලට ගොදුරු වුණේ එම ආධාර මර උගුලක් බවට පත්කරමිනි.
මේ අතර ගාසා තීරයේ සාගත තත්ත්වයක් නිර්මාණය වූ අතර ඉන් 150කට වැඩි පිරිසක් සාගින්නෙන් මිය ගිය අතර ඉන් 88 දෙනෙකු කුඩා ළමුන් සහ ළදරුවන් විය. එමෙන්ම දරුණු මන්ද පෝෂණයෙන් පෙලෙන පලස්තීන ළමුන් සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. පසුගිය ජූලි 17 වැනිදා සිට ගතවූ දින කිහිපය තුළ ගාසා තීරයේ අවුරුදු 5ට අඩු ළමුන් 16 දෙනෙකු සාගින්නෙන් මිය ගොස් තිබේ. මේ අතර වහා කඩිනම් පියවරක් නොගතහොත් ගාසා තීරයේ සාගින්නෙන් සිදුවන මරණ ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට IPC හෙවත් ගෝලීය ආහාර සුරක්ෂිතතා අධීක්ෂණ ආයතනය පෙන්වා දෙන අතර ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන ආකාරයට ගාසා තීරයේ සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකුම දිනගණනාවක් කුසගින්නෙන් සිටින බවයි.
