ඩිජිටල් බද්දේ ගැටලුව විසඳීමට කමිටුවක් පත් කෙරේ.

විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සඳහා තාවකාලික වශයෙන් මෙහෙයුම් සහනයක් ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් දිගුකාලීන නියාමන රාමුවක් හඳුන්වා දීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව රේගු නිෂ්කාශන කාර්ය පටිපාටිය සංශෝධනයෙන් විද්‍යුත් වාණිජ වේදිකා භාවිත කරන්නන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුව විසින් සිය රේගු නිෂ්කාශන කාර්ය පටිපාටිය සංශෝධනය කරනු ලැබුවේ විද්‍යුත් වාණිජ්‍ය වේදිකා ඔස්සේ කෙරෙන ආනයන සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන රේගු නිෂ්කාශන කාර්ය පටිපාටියේ ඇතැම් දුර්වලතා හඳුනාගෙන යැයි මෙම කමිටුව පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ.

ඒ අනුව නව සංශෝධනය සමග උද්ගත වී ඇති ප්‍රමාද වීම්, ඉහළ ගිය ගනුදෙනු පිරිවැය, මහජන විශ්වාසය පළුදු වීම, මිලගණන් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අඩු වීම වැනි තත්ත්ව විද්‍යුත් වාණිජ්‍ය වේදිකාවන් භාවිත කරන්නන්ගේ අතෘප්තිමත්භාවයට හේතු වී ඇති අතර විශේෂයෙන්ම විද්‍යුත් වාණිජ්‍ය කටයුතු මත දැඩිව රැඳී සිටින තනි පුද්ගල පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් එයින් බලපෑමට ලක්වන බව කැබිනට් යෝජනාවේ සඳහන් වේ.

ඒ අනුව, මෙම කමිටුව පත්කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති අතර මේ තීන්දුව සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස දුන් පිළිතුරු මෙසේ ය.

ප්‍රශ්නය : ඊ කොමස් ප්ලැට්ෆෝම්වලින් ගෙනා බඩු වරායේ සිරව ඇතැයි මාධ්‍ය වාර්තා කළා. එම භාණ්ඩ ඉදිරියේදී නිදහස් කරනවද?

අමාත්‍යවරයා : ආනයනකරුවන්ට මෙයින් වන අපහසුතාවය ගැනත් මේ ගැන ඇති වැරැදි පුවත් සියල්ල අපේ අවධානයට ලක්වුණා. මේ ක්‍රියාවලියේ යෙදෙන අයට පහසුවක් සපයන්න වගේම රජයට ආදායමක් උත්පාදනය කරන්නයි අපි මේ තීන්දු ගත්තේ. ඒ අය යම් ආදායමක් උත්පාදනය කරද්දි රජයට බදු ගෙවිය යුතුයි.

ප්‍රශ්නය : මේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කරනවාදැයි මා පසුගිය සතියේදී ඇහුවාම ඔබ කිව්වා නීති සම්පාදනය කරන්න දෙයක් නෑ කියල. හැබැයි චතුරංග අබේසිංහ පාර්ලිමේන්තුවේ එදාම කිව්වා නීති සම්පාදනය කරනවා කියලා. මොකක්ද මේ වෙනසට හේතුවුණේ?

අමාත්‍යවරයා : මේක ඇත්තටම නීති හැදීමට නෙවෙයි. ඇතිව තිබෙන තත්ත්වයට යම් සහනයක් දෙන්න. ඒ අය තමයි නීති අලුතින් ඕනෑද නැත්තන් පවතින යාන්ත්‍රණයෙන් යන්න පුළුවන්ද කියලා නිර්දේශ කළයුත්තේ.

Social Sharing
අවකාශය නවතම