කොවිඩ් මරණ 4000 සීමාව පසුකිරීම සහ අසාර්ථක පාලනයක කරුමය..

මේ වෙනකොට ලංකාව කොවිඩ් මරණ හාරදහසේ සීමාව පසුකරලා තියෙනවා. රජයේ නිළ වාර්තාවලට අනුව 23 වෙනිදා වාර්තාවුණ මරණ සංඛ්‍යාව වන 52 සමග මුලු මරණ සංඛ්‍යාව 4054ක්. පසුගිය 24 වෙනිදා වාර්තාවුණ ආසාදිතයන් සංඛ්‍යාව 1737ක්. ඒ කියන්නේ නැවත ආසාදිතයන් සංඛ්‍යාව 1500 සීමාව පසුකරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවිදිහට ඩෙල්ටා නව ප්‍රබේදය ආසාදනය වුණ ආසාදිතයන් 68 දෙනෙක් මේ වෙනකොට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ හඳුනාගත් ප්‍රමානයට වඩා බොහෝ ප්‍රමානයක් සමාජයේ ඉන්න පුලුවන්. ඒ වගේම දිනෙන් දින කරනු ලබන PCR පරීක්ෂණ ප්‍රමානය වැඩිකළ යුතු උනත් එය එහෙම නොවෙන නිසා හරියටම කියන්න බැහැ සමාජය තුළ ආසාදිතයන් කොපමන ප්‍රමානයක් විසිරිලා ඉන්නවාද කියලා.

ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනතුරු අඟවනවා මේ නව ප්‍රබේදය නැවත වටයකින් ලෝකය පුරාම කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි කරාවී කියලා. ඔවුන් කියන විදිහට රෝග ව්‍යාප්තියට ප්‍රධාන හේතුව එන්නත් අසමානතාවය. ඒ වගේම අවධානම් කාණ්ඩවලට නිසි සැලකිල්ලක් දක්වමින් එන්නත් ලබානොදීම. ඒ සමග ඔවුන් අවධාරණය කරන්නේ සමානාත්මතාවය ප්‍රමුඛ කොට සැමට එන්නත් ලබා නොදුන්නොත් ලෝකයට මේ අනතුරෙන් ගැලවීමක් නැහැ කියන දේ.

ලංකාව තවමත් එන්නත් ලබාදෙන්නේ වල්බූරු නිදහසකින් කියලා තමයි පේන්නේ. තවමත් නිසි සංවිධානයකට මේ එන්නත් බෙදීම නතුකරලා නෑ. අපි තවමත් එන්නත් මාත්‍රා දෙකම දීලා තියෙන්නේ 10%කට ආසන්න ප්‍රමානයකට විතරයි. ඒත් 80%ක එන්නත් දෙකම දෙනකම් අපිට මේ රෝගයෙන් ගැළවී ගැනීමක් නැති බව පේනවා. එන්න එනම මේ රෝගය මරණ මේ සියලු දේම සාමාන්‍යකරණය වෙමින් තියෙනවා. ඒක වැරැද්දක් නෙවෙයි. ඒත් ඒ නිසා නිකරුණේ මිනිස් ජීවිත විනාශ වෙලා යනවනම් අපි ඒ ගැන ටිකක් හිතන්න ඕනෑ.

තවමත් අපි පළාත් සංචරණ සීමා වගේ දේවල් දාගෙන ඉන්නවා. ඇත්තටම මේ හැම නිරෝධායන නීතියක්ම ක්‍රියාත්මක වෙන්නේ නිර්_වරප්‍රසාදිත මිනිස්සුන්ට විතරයි. ඒනිසා නිරෝධායන නීති කිසි තේරුමක් නෑ ලංකාව වගේ රටකට. ඒකෙන් වෙන්නේ තවතවත් මිනිස්සුන්ගේ මානසික ආතතිය වැඩිවෙන එක විතරයි. ඒනිසා ඔය හැම මඟුලක්ම අයින් කරලා අඩුම එන්නත් ටික කාර්‍යක්ෂමතාවයකින් දෙන්න ආණ්ඩුව උත්සාහ කරන්න ඕනෑ. අනෙක් පැත්තෙන් එන්නත් දෙනවා කියලා 50%ක සාර්ථකතාවක් හෝ නොපෙන්වන එන්නත් ගෙනල්ලා මෙහේ කුප්පිවලට පුරවලා ලබාදීමට ආණ්ඩුව නොසෑහෙන්න උත්සාහ කිරීම පිළිකුල් සහගතයි. අඩුම සිනෝපාම් එන්නත හෝ ජනතාවගෙන් 80%කට දෙන්න රජය කටයුතු කරන්න අවශ්‍යයි. ජනතාවත් තමන්ට හොඳ එන්නතක් අවශ්‍යයි කියන ඉල්ලීම කළ යුතුයි. නැතිනම් ගහන ඕනෑම එකක් භාරගැනීම හොඳ නැහැ.

දූපත් රාජ්‍යක් උන ලංකාවේ මිනිසුන් 4000ක් මියගියා කියන එක ලේසි දෙයක් නෙවෙයි. මේක ලෝකයම ගිලගත්ත වසංගතයක් කියන දේ එකම උත්තරයත් නෙවෙයි. මේ මරණවල කතාව ඇතුල් පැත්ත තමයි මේ ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයා ගේ දුර්වලතාවය. ඒක සඟවන්න බැහැ කොහොමටවත්..

කේ. සංජීව

Social Sharing
නවතම