ප්‍රජාව එක්ක ගනුදෙනු කරන හැටි මහජන ආරක්ෂක ඇමති පොලීසියට කියා දිය යුතුයි!

පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කිරීමට නොව  මිනිස්සුන්ගේ ආරක්‍ෂාවට බවත්  පොලීසිය ගැන ඒ තියෙන විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක් බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

පොලීසිය  අපිව ආරක්‍ෂා කරන්න සිටින අතර අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන තැන පොලීසිය බවද එහි ළමා හා කාන්තා ඒකකයක්  වෙනම ඇත්තේද  එතැනට යන ස්ත්‍රීන් හෝ ළමයින් ගේ ආරක්‍ෂාව තහවුරු කිරිම පිණිස බවද ඇය අවධාරණය කරයි.

නමුත් ඒ තුළ ඉන්න නිලධාරීන්  මේ ආකාරයට හැසිරෙනකොට පොලීසිය සහ ඒ ආයතන පද්ධතිය පිළිබඳව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් ඇති නොවන අතර  පොලීසිය තුළට යන ළමයින්ට හා කාන්තාවන්ට ලැබෙන ප්‍රතිචාර අනුව ඒ තුළ පවා මිනිස්සුන්ව මර්දනය කරන තත්වයකට පත්වීම අතිශයින්ම භයානක වීම ඉතාම ඛේදජනක ත්ත්වයක් බව ඇය පෙන්වා දෙයි.

පොලීසියේ තියෙන මේ සංස්කෘතිය අතිශයින්ම බරපතළ ප්‍රශ්නයක් වන අතර  ස්ත්‍රී විරෝධී සහ ස්ත්‍රී හිංසනවාදී අදහස් පොලීසිය තුළදී මතුවීම මේ කාලය තුළ අපි හැමෝටම පෙනුණ බවත්  මේවා හමුදා පුහුණුව දී විසඳන්න පුළුවන් ප්‍රශ්න නොවන බවද පොලීසිය ප්‍රජාව එක්ක ගනුදෙනු කරන්නේ කෙසේද කියන එක පැහැදිලි කර දීමේ ලොකු වගකීමක් සරත් වීරසේකර අමාත්‍යවරයාට ඇති බවද හරිනී අමරසුරිය මහත්මිය පවසයි.

කොතලාවල පනතට එරෙහි විරෝධතාවල සිට පාදුක්ක පොලිසියේදී කාන්තාවක් මුහුණ දුන් ලිංගික හිංසනය දක්වා වූ සිද්ධි සමුදාය තුළින් පෙන්වා දෙන්නේ පොලිසිය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකිද යන බරපතළ ප්‍රශ්නය බව පෙන්වා දෙන ඇය කියා සිටින්නේ මීට මසකට පෙර ඇය විසින් මේ පිලිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් ද ඉල්ලා සිටියේ මේ පිලිබඳ පොලිසියට මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස බවය.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (19) දින හිංසනයට එරෙහි කාන්තා එකමූව විසින් පවත්වනු ලැබු මාධ්‍ය සාකච්ඡාවේදීය.

-ශානි-

Social Sharing
නවතම