STF වෙඩි පහරින් සීදුවේ පුද්ගලයෙක් මරුට!

පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් මොටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) රාත්‍රියේ මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ සීදුව, කටාන පදිංචි ලලිත් වසන්ත පින්තු නැමැති 44 හැවිරිදි අයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන අන්දමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ඔවුන්ට ලද තොරතුරක් මත සැක කටයුතු විසෙල් වර්ගයේ මොටර් රථයක් පසුපස හඹා ගොස් ඇත. සීදුව, බේස්ලයින් ප්‍රදේශයේදී එකී මොටර් රථය නැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය බලය පාවිච්චි කරමින් සිදු කළ වෙඩි තැබීමකදී මෝටර් රථය තුල සිටි පුද්ගලයෙකු ඉන් තුවාල ලබා ඇත.

පසුව මීගමුව රෝහලට ඔහුව ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇතැයිද පොලිස් මාධ්‍ය  ප්‍රකාශකවරයා පවසයි.

එසේම මෙම ඝාතනය සාධාරනීකරණය පිණිස ඔහු තවදුරටත් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කියා සිටින්නේ ඔහු 1991 සිට මේ දක්වාම දිවයිනේ ප්‍රදේශ රැසක අපරාධ වලට සම්බන්ධ වු පුද්ගලයෙකු බවය. මනුෂ්‍ය ඝාතන 06 කට සම්බන්ධ බවත් කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවද කියා සිටියි.

එසේම මේ ඝාතනය සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සීදූව පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද පැවසේ.

මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය ගැන, නීතියේ සර්ව සාධාරණත්වය ගැන කථා කරන රටක අනීතිකව මෙම වසරේ සිදු වු 06 වෙනි මරණය මෙය වේ. මීට පෙර කොස්ගොඩ තාරක, ඌරුජුවා ද ආරක්ෂක අංශ වෙඩි පහරින් මිය ගිය අතර මඩකලපුවේ විදුෂන් හා පානදුරේ මොහොමඩ් අලිඛාන් පොලිස් අත්අඩංගුවේ සිටියදි මිය ගොස් තිබුණි. එමෙන්ම ඉකුත් දා පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේදිද කාන්තාවක් මිය ගොස් තිබුණි. ඉකුත් වසරේදී නීතියට පිටින් කෙරුණු ඝාතන 26 ක් විය.

-ශානි-

Social Sharing
නවතම