මෙවර ඡන්ද ප්‍රචාරණයට බිලියන දහයක් – මංජුල ගජනායක.

පසුගිය ජනාධිපතිවරණයේදී සිය ප්‍රචාරක කටයුතු සඳහා අපේක්ෂකයන් තිස්පස්දෙනා විසින් රුපියල් බිලියන හතරකට ආසන්න මුදලක් වියදම් කරනු ලැබූවා. එය හෙළිවන්නේ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් විසින් සිදු කරනු ලැබූ ප්‍රචාරණ වියදම් පිළිබඳව සිදු කළ වාර්තාව ඇසුරෙනි. මෙවර පැවැත්වෙන මහ මැතිවරණයට අදාළවද ඔවුන් මැතිවරණ වියදම් පිළිබඳව වාර්තාවක් සකස් කිරීමට නියමිතය. මේ කතාබහ පසුගිය වාර්තාව සමඟින් මැතිවරණ ප්‍රචාරණ වියදම් පිළිබඳවය.

කොරෝනා වලින් පසුව පවත්වන මැතිවරණය පිළිබඳව මැතිවරණ නිරීක්ෂකයකු ලෙස ඔබේ අදහස කුමක්ද?

අපි මේ යන්න හදන්නෙ පරණ හිටිය තැනටමයි කියන එකයි මැතිවරණ නිරීක්ෂකයකු ලෙස මගේ අදහස. ඒකට හේතුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රාජගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන අවස්ථාවේ මැතිවරණ සහාපතිතුමා කාරණා කිහිපයක් සඳහන් කළා. එහිදී ඔහු පැවසුවේ මේ කාරණා තමයි එවර මැතිවරණයේදී පාලනය කර ගැනීමට අපහසු දේවල් කියලා. පූජ්‍ය පූජක පාර්ශ්වයේ මැදිහත් වීම, ඒකාකෘතික මාධ්‍ය භාවිතය, සුළුතරයක් නමුත් බලවත් රාජ්‍ය නිලධාරීන්ගේ හැසිරීම ඒවා අතර ප්‍රධානයි.

කොවිඞ් අර්බුදයට අපි මුහුණ දුන්නෙ මාර්තු මාසයේ. ඒ අනුව මැතිවරණය පවත්වා මාර්තු දක්වා මාස හතරක හෝ පහක කාලයක් තිබ්බ මේවාට ආමන්ත්‍රණය කරන්න. එහෙම වුණත් සභාපතිවරයා කියපු ප්‍රධාන කරුණු තුන හෝ වෙනත් කිසිදු කරුණක් ඉතාම නිවැරදිව සමාජගත කරලා ඒ පිළිබඳව සමාජ කතිකාවක් නිර්මාණය කරන්න අපට නොහැකි වුණා.

පසුගිය මැතිවරණයේ පැවති ගැටලු සමුදාය පිළිබඳව අපි පශ්චාත්තාප වුණා, එහෙම නම් අපට පුළුවන් වෙන්න ඕනෙ මේ මැතිවරණයේදි ඒක නිවැරදි කරගන්න. නමුත් එවැන්නක් සිදු නොවීම තුළ අපට නැවත වරක් පශ්චාත්තාප වෙන්න සිදුවේවි.

පසුගිය වර ජනාධිපතිවරණයේදී සේ ම මෙවරත් මහ මැතිවරණයේදී මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ ප්‍රචාරණ වියදම් නිරීක්ෂණය සිදු කරනවා. මෙවැන්නක් සිදු කිරීමට හේතුව කුමක්ද?

ශ්‍රී ලංකාවේ මෙවැනි අත්දැකීමක් නෑ. මුලින්ම අපි මෙය ආරම්භ කරන අවස්ථාවේදී අප තුළ පවා යම් ත්‍රස්තවීමක් තිබුණා. නමුත් කවුරුන් හෝ යමක් ආරම්භ කළ යුතුයි කියන ස්ථාවරයෙන් මෙය ආරම්භ කළාට පසුව අපට සමහර පාර්ශ්ව තොරතුරු ලබා දුන්නා. ඒ වගේම අපි සඳහන් කළ යුතුමයි, අපි තොරතුරු ඉල්ලුවහම කිසිදු පාර්ශ්වයක් ඊට පසුබට වුණේ නෑ. ඒ තොරතුරු දත්ත වශයෙන් නිවැරදි වුණාට ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක අපට හොයන්න අමාරුයි. මොකද අපි මෙතන කරන්නෙ ජනතාවට යම් පණිවිඩයක් ලබාදීම මිසක් එෆ්.බී.අයි. – සී. අයි. ඒ. වැඩක් නෙවේ. ඒ නිසා අපි සෑහීමකට පත්වෙනවා. අපට මේ තියන මූලික තොරතුරු හා දත්ත පද්ධතිය මත.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ තියන ආවේනික දුබලතාවක් තමයි කොහෙවත් නිවැරදි දත්ත හා තොරතුරු යාවත්කාලීන නොකිරීම.

එවැනි දත්ත පද්ධතියත් යාවත්කාලීන වීමේ වැදගත්කම උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන්, 1997 සිටම අද වෙනකම්ම අපි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව දත්ත පද්ධතියක් නඩත්තු කරනවා. දැන් ආපස්සට හැරිල බලපුවහම තේරෙනව දැන් ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි. ඒ අඩුවෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා දැන් විතැන් වෙලා තියනව වෙනත් වෙනත් මානයන්ට. පිරිවැය නිරීක්ෂණයත් මේ වගේ තමයි.

2015 දෙසැම්බර් මාසයේ මැතිවරණ කොමිෂන් සභාව නියෝජනය කරමින් මහාචාර්ය රත්නජීවන් හූල්, මාධ්‍යවේදීන් නියෝජනය කරමින් සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ඇන්තනී ඬේවිඞ් වගේම සිවිල් සමාජය නියෝජනය කරමින් මමත් අපි නවදිල්ලියේ රැස්වෙලා “නවදිල්ලි ප්‍රකාශනය” නමින් ප්‍රකාශනයක් අපේ රට වෙනුවෙන් අත්සන් කළා. එහි තියනව සමස්තයක් විදිහට මැතිවරණ ප්‍රචාරක වියදම් හෝ දේශපාලන මූල්‍ය පිළිබඳව කරුණු එක් රැස් කිරීම ගැන. එයින් අපි තේරුම් ගත් කාරණයක් තමයි ශ්‍රී ලංකාවෙත් මෙවැන්නක් ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණය.

මේකෙ දෙපැත්තක් තියනවා. එකක් දේශපාලන මූල්‍ය. අනෙක තමයි මැතිවරණ ප්‍රචාරක වියදම්. මේ දෙක අහසට පොළොව වගේ දෙකක්. දේශපාලන මූල්‍ය හොයනව නම් වසර පුරා දේශපාලන පක්ෂ දරනු ලබන වියදම් පිළිබඳව පරිසමාප්ත චිත්‍රයක් ලබාගත යුතුයි. නමුත් එවැනි මට්ටමකට අපිට යන්න බැහැ. මූලික වශයෙන් අපි හිතන්නෙ අවම තරමින් මැතිවරණයකට යන වියදම් අපට තියනව නම් එතනින් අපට යම් ආරම්භයක් ගන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම කියන්න හේතුවක් තියනවා. ලංකාවෙ නීති ගොඩක් තියනවා. වත්කම් සහ බැරකම් නීතිය තිබුණාට ඒක තාමත් නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා දුෂ්කර ආකාරයකින් අතගහනවට වඩා යම් සරල ආකාරයකින් පටන් ගන්න ඕනෙ කියල අපි හිතුව.

පසුගිය වර සිදු කළ නිරීක්ෂණය තුළ ඔබ සොයා ගත් විශේෂ කරුණු තිබෙනවාද?

එහි අපි හඳුනාගත් මූලිකම කරුණක් තමයි අනාවරණය කරගත් දේට වඩා අනාවරණය නොවන දේ වැඩියි. උදාහරණයක් ගත්තොත්, අපේක්ෂකයන් තිස්පස් දෙනෙක්, ලක්ෂ තිස්නව දාහක්. ලක්ෂ තිස් නමදාහෙන් ලක්ෂ තිස් තුන් දාහක් වියදම් කරල තියෙන්නෙ දෙන්නෙක්. තිස් තුන්දෙනෙක් උපයෝගී කරගෙන තියෙන්නෙ මුළු මුදලින් සීයට දෙකක් වගේ.

ඔවුන්ගේ දේශපාලන පක්ෂවල වත්කම් පිළිබඳව සහ ඔවුන් සතු පසුබිම පිළිබඳව හිතුවට පස්සෙ අපට හීනෙන්වත් හිතාගන්න බැහැ මේ ලබාගත් මුදල් පිළිබඳ මූලාශ්‍රය මොකක්ද කියලා. මෙතැන මහා විශාල කළු කුහරයක් නිර්මාණය වෙනවා. ඒ වගේම මේකෙ තියන තොරතුරු පිළිබඳව යමෙකුට දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් අහන්න පුළුවන්, එහෙම නැත්නම් අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් අහන්න පුළුවන්. නමුත් කනගාටුදායක කරුණ කිසිවෙක් මේ සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ.

ප්‍රශ්නයක මෙවැනි විශාල ධනස්කන්ධයක් මොවුන් වෙත පත්කරන ලද පාර්ශ්වය කවුද? මෙය තමයි අපි සැලකිලිමත් විය යුතු කාරණය.

මැතිවරණය සඳහා අපේක්ෂකයන් සිදුකරන වියදම්, ඡන්දදායකයාට වැදගත් වෙන්නෙ කොහොමද?

අපගේ නිරීක්ෂණයට අනුව, තමන්ට ලැබෙන බැලට් පේපර් එක, ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ ප්‍රචාරක රැස්වීමකට ගිහිල්ල ඡන්දදායකයෙක් ඡන්ද පොළට ගිහිල්ල ඡන්දදායකයෙක් දේශපාලකයකු තෝරා ගන්නා සරල ක්‍රියාවලිය තවදුරටත් ලංකාව තුළ වලංගු නෑ.

මේ ක්‍රමය කාරණා දෙකක් නිසා ඡන්දදායකයාගෙන් ඉතාම වේගයෙන් බැහැරට යමින් තිබෙනව. එකක්, පැහැදිලිවම මුදල් වියදම් කරන පාර්ශ්ව ඔවුන්ගේ ප්‍රතිපත්තිවල සිට හැම දෙයක්ම නඩත්තු කරමින් සිටිනව. ඒත් සමගම ප්‍රතිපත්ති ප්‍රකාශ එක දෙයක් කියනකොට සැබෑවටම වෙන්නෙ එක දෙයක්.

අපි මෙහෙම හිතමු, අපේක්ෂකයො දෙන්නම කීව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පාලනය කළ යුතුයි කියලා. හැබැයි තාමත් හය මාසයක් ගෙවිලත් තිබිච්ච පනත ගැන හෝ විවාදයක් මතුවෙලා නෑ මේ සමාජ තුළ. සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් වුණත් මේක එකයි. මේ විවාදය මතු නොවීම තුළ වාසි ගන්නෙ ඉතාම ධනපති සමාගම් කිහිපයක්. දැන් කවුරුහරි තර්කයක් ගොඩ නැගුවහොත්, අර අපි දකින විශාල කළු කුහරය තුළට සල්ලි පම්ප් කරා කියලා, ඒ චෝදනාව සදාචාරාත්මක නොවේ යැයි බැහැර කරන්න බැහැ.

අනිත් පැත්තෙන් අපට තියන කාරණය සමාජ ජාල මාධ්‍ය. මේක පුද්ගලයාගේ මනසට රූපය සහ පණිවුඩය ජපකිරීම මගින් සිදු කරනු ලබන මොළ ශෝධනයක්. අනෙක් පසින් අපි දන්නෙත් නැති කෘත්‍රිම පුද්ගලයො නිර්මාණය කරල රුසියාව සමග එකතුවෙලා යම් සමාගම් කිහිපයක් මේ වෙද්දි නිර්මාණය වෙමින් පවතිනව, ඡන්දදායකයන්ට කෘත්‍රිම ප්‍රතිචාර පළ කිරීමට. ඒ නිසා අනාගතයේ තරුණ තරුණියන් තුළ නිර්මාණය වන ජනකාන්ත බවට ඉහත කාරණය හේතුවක් වෙන්න පුළුවන්.

ඒ නිසා ඡන්ද මධ්‍යස්ථාන දහතුන්දාහ තුළට වැටෙන ඡන්දයම නෙවෙයි අවසානයේ ප්‍රකාශ වෙන්නෙ. පුද්ගලයන් ඡන්දයෙන් පත්වීම විතරක්ම නෙවෙයි මෙතන වෙන්නෙ. පාර්ලිමේන්තුවට තරග නොකරන, යම් පුද්ගලයෙක් කොහේ හෝ ඉන්නවා. ලංකාවෙ වෙන්න පුළුවන්, රුසියාවෙ වෙන්නෙ පුළුවන් එහෙම නැත්තන් වෙන කොහෝ හෝ වෙන්න පුළුවන්, වෙනත් පුද්ගලයෙකුගේ උවමනාවට භෞතිකව ඉදිරිපත් වන පුද්ගලයන් රූකඩ ස්වරූපයෙක් ක්‍රියා කරනව කියලා.

මෙය පැහැදිලිවම ඡන්දදායකයාගේ මනස වෙනස් වීමක් නෙවේ විකෘතිවීමක්.

මෙවැනි කාරණා නියාමනය කිරීමක් පිළිබඳව පසුගිය කාල සමය තුළ දිගින් දිගටම සාකච්ඡාවට බඳුන් වුණා. නමුත් ඒ සඳහා වන නීති සම්පාදනය වීමක් තවමත් දක්නට නැහැ.

අපි තුළ තියනව ඉතාම නරක පුරුද්දක්. මම ඒක ටයිමින් ගේම් කියල හඳුන්වන්නම්, කල්බැලීම. මැතිවරණ කොමිෂන් සභාව යම් වෙලාවක ප්‍රකාශ කරනව අපි මේවාට එරෙහිව දැඩි දඬුවම් ලබා දෙනව කියලා. ඒ වචනෙත් එක්ක අපි ඉදිරියට යනවා, පැමිණිලි ගොඩක් එනවා, ඒව යටපත් වෙනවා. අවසානයේ ජනාධිපතිවරණය ඉවර වුණා. දැන් මහ මැතිවරණය එනවා. අපි මෙතනදිත් ඒකම කියනව, කිසිදු තෝරෙක්, මෝරෙක් අත්අඩංගුවට නොගෙන මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට යනවා.

මේ කාරණය මැතිවරණ ප්‍රචාරක වියදම් කියන විෂයට ආවහම තවත් ප්‍රබලයි. අපි දන්නව මැතිවරණ කොමිසම මේකට යම් පියවර ගත්ත, ඇත්තෙන්ම අපි ඒක ගැන ඔවුන්ට ප්‍රණාමය දක්වන්න ඕනෙ. කොහොම වුණත් ඔවුන් එතනදි හුදකලා තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. හේතුව, ඔවුන් දාන්න පුළුවන් උපරිම බර දාල තියනවා. මේක හිරවෙලා තියෙන්නෙ නීතිපතිවරයා ළඟ. නීතිපතිවරයා ළඟ තියන කෙටුම්පත එළියට ඇදල අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න නම් ඒකට අති ප්‍රබල හස්තයන් කිහිපයක් එකතු වෙන්න ඕනෙ.

අප සාකච්ඡා කළ කරුණුවලට අදාළව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් ඉදිරිපත් කරන නිර්දේශ මොනවාද?

මූලිකවම අපි ඉල්ලා සිටිනු ලබනව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මගින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනගත කරන ලෙස. දැනට ස්ථාපිතව ඇති නීතිමය ප්‍රතිපාදන හමුවේ මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ සුපරීක්ෂාවට ඇති ඉඩකඩ ඉතා සීමිතයි. මැතිවරණ කොමිෂන් සභාවට ද එහිලා කළ හැකි කාර්යය වන්නේ එකී ප්‍රකාශ නිසි කාල සීමාව තුළ තමන් සතුකර ගැනීමයි. එවන් පසුබිමක නීති සම්පාදනයෙහිලා ජනතා වරමක් ආයාචනා කරන සියලු අපේක්ෂකයන් තම වත්කම් හා බැරකම් ප්‍රකාශ හැකි උපරිම අයුරින් ජනගත කරන ලෙස ඉල්ලා පුළුල් සමාජ බලවේගයක් නිර්මාණය විය යුතුයි.

එමෙන්ම අනෙක් කරුණ මැතිවරණ කාල සමයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් සිදුවියහැකි බලපෑම කෙරෙහි නිසි තක්සේරුවක් කිරීම හා අදාළ සියලු පාර්ශ්ව එක්කර ගත් පොදු යාන්ත්‍රණයක් සකස් කිරීම සිදු කළ යුතුයි. මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි සාම්ප්‍රදායික මාධ්‍ය කවරතරම් බලපෑමක් කළහැකිද යන්න පිළිබඳ මෙතෙක් විධිමත් සමාජ කතිකාවතක් ඇරඹී නොමැති පසුබිමක ඒ පිළිබඳ අඛණ්ඩ සාකච්ජා මාලාවක් ඇරඹිය යුතුව පවතිනවා.

මැතිවරණ ප්‍රචාරක වියදම් පිළිබඳ විනිවිදභාවයකින් කටයුතු කොට ජනතා විශ්වාසය තහවුරු කිරීමට දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් පියවර ගැනීම වැදගත්. තවත් වැදගත් කාරණයක් තමයි මැතිවරණ හා සබැඳි සමාජජාල මාධ්‍ය භාවිතය තුළ මැතිවරණ ක්‍රියාවලියේ විශ්වසනීයත්වය රැකගැනීමේ අභියෝගයට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කිරීම. මොකද පසුගිය ජනාධිපතිවරණයේ ඉතා ඉහළ සමාජ මාධ්‍ය භාවිතාවක් දැකගත හැකිවුණා. එය අපට ඉදිරියේදීත් නිසැකවම අපේක්ෂා කළ හැකි දෙයක්.

පසුගියවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් තිස් පස් දෙනෙකු සිය මැතිවරණ ප්‍රචාරණය සඳහා බිලියන හතරක් පමණ වියදම් කළා. මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයන් හත්දහස් ගණනක් සිටිනවා. ඒ අනුව මෙවර කොපමණ මුදලක් ඔවුන් සිය මැතිවරණ ප්‍රචාරණය සඳහා වියදම් කරාවි යැයි ඔබට අනුමාන කළ හැකිද?

අපි මෙවර අනුමාන කරනව අවම වශයෙන් මේ වියදම බිලියන දහයක් දක්වා යාවි කියලා. එක්තරා ඇමතිවරයෙක් ප්‍රකාශ කරල තිබ්බ මැතිවරණ තියන එක හොඳයි කළු සල්ලි වෙළෙඳපොළට එනව කියලා, කළු සල්ලි වෙළෙඳපොළට එන එක හොඳයි තමයි. හැබැයි එයින් නිර්මාණය වන පාතාලය සහ අවරගණයේ සංස්කෘතිය පිළිබඳව ජනතාවට වගකියන්නේ කවුද? එම නිසා ජනතාව මීට වඩා මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

රසික ගුණවර්ධන

උපුටා ගැනීම – ravaya.lk

Social Sharing
සාකච්ඡා