පෑලියගොඩ පොලිස් පහරදීමෙන් මියගිය ශර්මන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්!

2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝම්රිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රධානය කිරීමට අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය.

දෙදරු පියෙක් වන චදික් ෂාමන් මහතා 2017 පෙබරවාරි 25 වන දින අළුයම 04.00ට පමණ ඔහුගේ නිවසට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුනු පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් කිසිදු චෝදනාවක් නොදන්වා නීති විරෝධීව අත් අඩංගුවට ගෙන තිබුනි. ඊට පසුදින ඔහුගේ බිරිද වෙත ලැබුනු දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුනේ චදික් මිය ගොස් ඇති බවයි.

පසුව ඔහුගේ මෘත දේහය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා චදික්ගේ බිරිද වෙත ප්‍රකාශ කොට තිබුනේ තමන්ගේ මුළු ජීවිත කාලයේදීම දක්නට නොලද දරුණු ආකාරයේ හිංසාවන් මෙම මෘත දේහයෙන් දිස්වූ බවත්, ඒම කෲර හිංසාවන් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවත් ය.

මෙම කෲර පහරදීම හා ඝාතණය සම්බන්ධව ඔහුගේ බිරිදව වන නිල්මිනි විසින් ජීවත්වීමේ අයිතිය හා කෲර හා අමානුෂික පහරදීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට 2017 වසරේ දී ගොණුකරණු ලැබූ පෙත්සම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවය වෙත රුපියල් මිලියනයක වන්දියක් ප්‍රධානය කරනු ලැබීය. නිල්මිනි වෙනුවෙන් මෙම පෙත්සම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ උපදෙස් මත ජේෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් ගොනුකර තිබුනි.

Social Sharing
නවතම