ශ්‍රී ලංකාවේ ආර්ථිකය හිටපු තැනින් පහලට!

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම අදායම් ලබන රටක සිට පහල මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා තිබේ.

නම්‍යශීලී විනිමය අනුපාත නොහොත් මුදලේ මූර්ත අගය තියුණු ලෙස බිඳවැටීම සහ වර්ධන අනුපාත උද්ධමනයට වඩා අඩු අගයක් ගෙන ඇති තත්වයක්  යටතේ ලංකාවේ  ඒක පුද්ගල ආදායම පහත වැටීම ඇතුළු කාරනා  ඊට හේතු වී ඇත.

ලෝක බැංකුව විසින් ශ්‍රී  ලංකාවේ ආර්ථිකය පියවරක් ඉහළ  කාණ්ඩයට අයිති ලෙස වර්ගීකරණය කර වසරක් ගතවෙද්දී එලි දැක්වූ නවතම වර්ගීකරණය මගින් එය පහළ කාණ්ඩයට නොහොත් හිටපු තැනටම පත්විම කැපී පෙනෙන්නකි.

මෙම වර්ගීකරණයන් සෑම වසරකම ජූලි 1 වැනි  දින යාවත්කාලීන වන අතර 2020-2021 වර්ෂ සඳහා වන ඒ ඒ ආර්ථික ඒකකයන්හී ආදායම් මට්ටම අනුව මෙම පියවර ගෙන තිබේ.

එය තත්කාලීන එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව, දෙන ලද රටක හෝ ආර්ථික ඒකකයක (30,000 ට වැඩි ජන සංඛ්‍යාවක් වෙසෙන) ඒක පුද්ගල දළ ජාතික ආදායම මත පදනම් වේ.

ලෝක බැංකුව විසින් ඒ ඒ ආර්ථිකයන්ගේ ඒක පුද්ගල ආදායම (වාර්ශික) අනුව (i) අඩු ආදායම් ආර්ථික, ($- 1,036 ට අඩු) (ii) පහළ මැදි ආයාදයම් ආර්ථික, ($ 1,036 – 4,045 අතර) (iii) ඉහළ මැදි ආදායම් ආර්ථික, ($ 4,046 – 12,535 අතර) හා (iv) ඉහළ ආදායම් ($ 12,535 ට වැඩි) ආර්ථික ලෙසින් කොටස් හතරකට වර්ගීකරණය කරයි.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ (2019 ජූලි 01) ඉහළ මැදි ආදායම් ලබන ආර්ථිකයක් ලෙස වර්ගීකරණය වී මේ වසරේ (2020 ජූලි 01) හිටපු තැනට, එනම් පහළ  මැදි ආදායම් ලබන ආර්ථිකයක් බවට වර්ගීකරණය වී ඇත.

ඒ අනුව පසුගිය වසරේ දී එක්සත් ජනපද ඩොලර් 4,060 ක් වූ ලාංකීය ඒක පුද්ගල දළ ජාතික ආදායම මේ වර්ෂය වන විට ඩොලර් 4,020  ක් දක්වා පහත වැටීම හේතුවෙන් ‌ලෝක බැංකුව විසින් මෙසේ ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබේ.

ලෝක බැංකුවේ නවතම වර්ගීකරණයන් හේතුවෙන් තමන් සිටි ස්ථාන  වලින් ඉහළ  වර්ගයට හෝ පහළ වර්ගයට විතැන් වූ ආර්ථිකයන් දහය අතරට ලංකාව ද ඇතුලත්ව තිබේ.

මේ ආර්ථික දහයෙන්  හතක්  ඉහළටත් තුනක් පහළටත් විතැන් වී තිබේ.

ඒ අනුව බෙනින් රාජ්‍යය  අඩු ආදායම් සිට පහළ මැදට, ඉංදුනීසියාව  පහළ මැද සිට ඉහළ මැදට, මොරිසස්  ඉහළ මැද සිට ඉහළට, නාවුරු  ඉහළ මැද සිට ඉහළට, නේපාලය  පහළ සිට පහළ මැදට, රුමේණියාව  ඉහළ මැද සිට පහළ මැදට, ටැන්සානියාව පහළ සිට පහළ  මැදට ලෙසින් නවතම වර්ගි කරණය අනුව පියවරක් ඉදිරියට තබා තිබේ.

මේ නවතම වර්ගීකරණය අනුව රටවල් තුනක් පියවරක් පහළට තබා ඇති අතර ඒ  ලංකාව  ඉහළ මැද සිට පහළ මැදට, ඇල්ජීරියාව ඉහළ මැද සිට පහළ මැදට, හා සුඩානය  පහළ මැද සිට පහළට ලෙසිනි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් 2021 ජූලි මස සම්පුර්ණ වන වසර සදහා භාවිතා කරණ දළ ජාතික ආදායම කොපමණ ද යන්න ලෝක බැංකුව මගින් තවමත් ප්‍රකාශයට පත් වී නැත.

දැනට එක්සත් ජනපදය, චීනය, එක්සත් රාජධානිය, යූරෝපා රටවල්, හා ජපානය යන රටවල් සම්බන්ධයෙන්  හා වෙනත් රටවල් සම්බන්ධයෙන් මේ වර්ගී කරණයේ දී ලෝක බැංකුව පරිහරණය කරනුයේ ක්‍රම දෙකක් මුත් මේ නව තතු යටතේ කෙසේ තක්සේරුවලට එළඹෙද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් ද  කර නොමැත.

Social Sharing
නවතම