කොවිඩ් මර්දනයේදී පොලොන්නරුවට අඩු සැලකිලි!

ඩෙල්ටා ඇතුලු සියලු ප්‍රභේදවල කොරෝනා රෝගීන් සදහා රෝගී සත්කාරක සේවා ලබා දීමෙන් වැඩිම දායකත්වය ලබා දෙන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කය බවත් කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩපිළිවෙලෙන් අඩුම එන්නත් ලබා දීමක් සිදුවන්නේත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට බවත් පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව මහ රෝහල හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අධික්ෂණය හා මෙහෙයවීම මත විශේෂිත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන 07ක  දිනපතාම පාහේ රෝගීන් 3000කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිකාර කෙරෙන බවත් දිස්ත්‍රික්කයට ම කොරෝනා මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත් 25000ක් පමණක් ලැබීම කණගා‍ටුවට කරුණක් බවත් ඔවුහු පෙන්වා දෙති. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට ලක්ෂ 4ක පමණ ජනගහනයක් සුදුසුකම් ලබා තිබුණද දිස්තික්කයේ පදිංචිකරුවන්ගෙන් සියයට 6කටවත් එන්නත් ලබා දී නැතැයි ද ඔව්හු පෙන්වා දෙති.

” අපට වැක්සින් 25000ක් ලැබුණා පළවෙනි මාත්‍රාව විදිහට පසුගිය මාසයේ. ඊක අපි දවස් 3ක දී අධි අවදානම් කළාප හා අවදානම් රාජ්‍ය සේවා නිලධාරින් පිරිසකට ලබා දුන්නා. නමුත් ඊට පස්සේ අපට එන්නත් වැඩපිළිවෙල යටතේ කරන්න කිසිම දෙයක් නැතුව ගියා. මාසයක් විතර ගියත් එන්නත් ලැබුණේ නැ. අර 25000 ට අදාළ දෙවෙනි මාත්‍රාව ලැබුණා. ඒකත් අපි පසුගිය දින 3 දී ලබා දී ඉවර කළා. මේ 25000 වුණත් රාජ්‍ය සේවයකින් වැඩි පිරිසක් ඉන්නේ පොලොන්නරුවෙන් පිට පදිංචිකරුවන්. කර්මාන්තශාලාවල වැඩ කරන්නෙත් වැඩි පිරිස පිට ප්‍රදේශවල අය. ඒ නිසා පොලොන්නරුව  දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් සියයට 6ක් වත් එන්නත්කරණයට ලක්වෙලා නැ. නමුත් මේ වෙනකොට 40කට වැඩි පිරිසක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගය වැළඳී අසාධ්‍ය වෙලා මිය ගිහින් තියෙනවා. ආසාධිතයින් තුන්වන ‍රැල්ලෙන් 2000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඩෙල්ටා ප්‍රභේදයේ ආසාධිතයිනුත් ගෙනත් ඉන්නවා. නමුත් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය තුළ. එහි නිලනිවාසවල කථිකාචාර්යවරුන් හා අනෙකුත් කාර්යමණ්ඩල ‍රැදී සිටිනවා.ඔවුන්ටවත් එන්නත් ලබා දෙන්න විදිහක් නෑ. අපට එන්නත් ලැබෙන්නේ නැ. දැන් සෑම දිස්ත්‍රික්කයකම පාසල් ගුරුවරුන් ට වැක්සින් එක ලබා දෙන්න කටයුතු කර තිබුණත් පොලොන්නරුවට තාම ලැබුණේ නෑ. අපෙන් පාසල්වල විදුහල්පතිවරු අහනවා. අපට දෙන්න උත්තරයක් නෑ.” අප කළ විමසුමක දී  සෞඛ්‍ය අංශවල සියලු දෙනා පවසති.

මේ පිළිබදව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ. කුමාරවංශ මහතාගෙන් විමසීමක් කළෙමු.

“අපිට ලැබුනේ 25000ක් ඒ වැක්සිනේෂන් එක ඉවරයි, දෙවන මාත්‍රාවත් කිසිදු ගැටලුවක් නැතුව ලබා දුන්නා. පාසල්වල ගුරුවරුන් එන්නත්කරණය කරන්න සූදානම් වුණත් පොලොන්නරුවට තාම ලැබී නැ. අපි මේ ගැන ඉල්ලීම් කර තිබෙනවා.” යැයි ද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා  කීය.

ඊෂා මුදියන්සේ- පොලොන්නරුව

Social Sharing
නවතම