ආණ්ඩුවේ මර්දනකාරී හස්තයට එරෙහිව දැඩි වෘත්තිය ක්‍රියා මාර්ග!                    

සිය මූලික අයිතිවාසිකම් කඩවන අන්දමින් පැහැර ගැනීම ඇතුළු ආණ්ඩුවේ මර්ධනකාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු සංගමයේ ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක් ඉදිරිපත් කරනා බවත් 12 දා සිට මාර්ගගත අධ්‍යාපන කටයුතු ඇතුළු සියළුම අධ්‍යාපන කටයුතු වලින් ගුරු විදුහල්පතිවරුන් ඉවත් වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ආණ්ඩුවේ මර්දනකාරි හස්තයට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියා මාර්ග ගන්නා බව පවසමින් හා පැහැරගත් සියළුම දෙනා වහාම සඳුදා වනවිට නැවත නිවෙස් වලට එවන ලෙස රජයට බලකරමින් ඒ මහතා අනුරාධපුර පිහිටි සිය නිවසේ මාධ්‍ය හමුවක් කැඳවමින් (10දා) මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් කථා කළ සංගමයේ සභාපති එස්. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා. රජය දරුණු අන්දමේ මර්දනයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. පසුගිය බ්‍රහස්පතින්දා (8දා) විරෝධතාවකට එක්වූ වෘත්තිය සමිති ශිෂ්‍ය සංගම් හා සමාජ ක්‍රියාකාරින් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තා නෙමෙයි පැහැර ගත්තා.

තමන්ගේ මර්දන හස්තය මහජනතාව දෙසට යොමුකර පෙන්නුවා. ආණ්ඩුවේ සිදුකරන දරුණු වංචා දූෂණ හොරකම් මැරකම් වලට අපි කිසිම ඉඩක් තියන්නේ නෑ. මේවා රටට හෙළි කරනවා.

පහුගියදා වෙච්ච සිද්ධි පොලිසිය නොදැන කරපු දේවල් නෙමෙයි. ඒ සියල්ලම සැලසුම් සහගත අන්දමින් කරපු දේවල් පාර්ළිමේන්තු වටරවුමේදී ඉතා නින්දිත විදියට පොලිසිය කටයුතු කළේ. ඒක අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි පැහැර ගැනීමක්. අපි මේ සිද්ධි වළට නිකම් ඉන්නේ නෑ. ඔවුන් නින්දිත ක්‍රමවේදයක් භාවිතා කරමින් කටයුතු කළේ. ඒ අවස්ථාවේ මාධ්‍ය සිදුකළ මෙහෙය අපි ඉතා ඉහළින්ම අගයනවා.

අපේ සහෝදරයන් පොලිස් අත්අඩංගුවට ගත්තට පස්සේ ඉතාම සරළ ඇප කොන්දේසි මත අධිකරණය මගින් මුදාහැරියා. නමුත් නින්දිත පොලිසිය දෙවන වතාවටත් ස්වාමින්වහන්සේලාගේ සිවුරු ඉරලා.

කාන්තාවන්ගේ ඇඳුම් ඉරලා පහරදීලා සිය නින්දිතත්වය රටට නෙමෙයි මුළු ජාත්‍යන්තරයටම පෙන්වමින් කටයුතු කරලා පැහැර ගැනීම සිදුකළා. එහෙම කරලා වාරාය පොලිසියට ගෙනල්ලා පැය ගණනාවක් එහි රඳවාගෙන හිටියා. අපේ සහෝදරයන්ට කෑම බීම දීපු ආකාරය ඔවුන් කිවුවා. ඒවා පෙන්නුවා.

පොලිස් ඇමති සරත් වීරසේකර කිවුවා නෑ හොදට කන්න බොන්න දුන්නා කියලා. දීපු ලයිස්තුව පෙන්නුවා. එය පෙන්වන් ඇත්තේ පියුමි හංසමාලිට දීපුවා වෙන්න ඇති. පොලිසිය කරේ නරක පූර්වාදර්ශයක් දෙන ක්‍රියාවක්.

පොලිස්පතිවරයාට පොඩි මතක් කිරීමක් කරනවා පස්වෙනි මාසේ හත්වෙනිදා නිකුත් කළ ලිපිය ගැන. නිරෝධායන නීතියේදි හිංසා කිරීම් බැනවැදීම් කරන්න එපා එහෙම වුණොත් ඒක කරන අය අධීක්ෂණ කරන අයට විනයාණුකූල පියවර ගන්නවා කිවුවා.

ඔන්න පොලිස්පතිට ඒ ලිපියේ අඩංගු කරුණු ක්‍රියාවට නංවන්න හොඳම අවස්ථාව. ගෝලයන්ගේ හැසිරීමට එරෙහිව කටයුතු කිරීමේදී මිරිහාන පොලිසියේ ස්ථානාධිපති තලංගම පොලිසියේ ස්ථානාධිපතිට දැන් විනයාණුකූල පියවර ගන්න.

අපි 12දා පොලිස් කොමිෂමට යනවා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරනවා වගේම ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂන් සභාවටත් මේ කටයුතු කිරීම් පිළිබදව පැමිණිලි ඉදිරිපත් කරනවා.

ආණ්ඩුවේ මර්ධනකාරී ක්‍රියා පිළිවෙතට හා සිදුකළ අගතියට එරෙහිව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සහෝදරයා පෞද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනවා. ඊට අමතරව තවත් පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා. නිරෝධායන කටයුතු සිදුවෙන්නේ නිරෝධායන කඳවුරක නෙමෙයි මුලතිව් ගුවන් හමුදා කඳවුරේ. එම ස්ථාන වලදී වෙනත් ගැටළු නිර්මාණය වෙන්න පුළුවන්.

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ඇතුළු පිරිසත් මේවට වග කියන්න ඕන. සඳුදා වෙන්න කලින් මේ ගැටළු වලට විසඳුම් නොදුන්නොත් පැහැර ගත් පිරිස නිදහස් නොකරොත් රටේ අධ්‍යාපනය තවදුරටත් අවුල් වෙන්න පුළුවන්. ඒ අනුව දෙමාපියන් සිසුන් රවටන මාර්ග ගත අධ්‍යාපන ක්‍රමයෙන් සියළුම දෙනා අද (12දා) සිට ඉවත්වෙනවා.

උසස් පෙළ අයදුම් පත්‍ර සැකසිමේ කටයුතු වළ ස්වෙච්ඡාවෙන් නිරතව ඉන්න ගුරු විදුහල්පතිවරුන් ඒ කටයුතු වලින් ඉවත්වෙනවා. ඒ පිළිබදව විභාග කොමසාරිස්තුමාට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමාට දන්වනවා. අපි බොහොම නිහඩව සාධාරණ අරගලයන් වල නිරත වෙද්දී රජය මර්දනකාරි අන්දමින් හැසිරෙනවා නම් අපි සූදානම් රටේ තත්වය නිසා නවතා තිබෙන ගුරු විදුහල්පති වැටුප් අරගලයට යන්න.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම