ඇතැම් ආයතන වල යළි ගැබිණි මව්වරු සේවයේ යොදවයි!  

රට තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිවීම නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවයේ නියුතු ගැබිණි මව්වරුන් සේවයට කැඳවීම තාවකාලිකව අත්හිටුවීමට රජය පසුගියදා ගත් තීරණය මේ වනවිට ක්‍රියාත්මක නොකරමින් සේවිකාවන් සේවයට කැදවීමට ඇතැම් රාජ්‍ය අංශ ප්‍රධානින් ගෙන තිබෙන තීරණයට රාජ්‍ය ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයන් සිය අප්‍රසාදය පලකරති.

රට තුළ සීඝ්‍ර ලෙස කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම නිසා රජය මඟින් වහාම දරු ප්‍රසූතියට සූදානම් වන ගැබිණි මව්වරුන් සේවයට නොකැදවන ලෙස තීරණය කරමින් චක්‍ර ලේඛණ නිකුත් කලත් රාජ්‍ය ආයතවල ප්‍රධානීන් මේ වනවිට ගැබිණි මව්වරුන් නැවත සේවයට කැදවීම නිසා ඔවුන්ගේ ජීවිත අවදානම් තත්වයට පත්වි ඇති බව ඔවුන් අනාවරණය කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් පළකල ආයතන කිහිපයක වෘත්තිය සමිති සාමාජිකයන් මෙසේ කීහ.

“රටේ දරුණු අන්දමින් කොවිඩ් වසංගතය පැතිරෙන අවධියක රජය ගත්ත හොදම තීන්දු තීරණයක් තමයි රාජ්‍ය පෞද්ගලික සේවයේ නිරත ගැබිණි මව්වරුන් සේවයට නොකැදවීම. පෞද්ගලික අංශ පිළිබදව මේ වනවිට සතුටින් කථා කරන්න පුළුවන් බොහොමයක් ආයතන ඒ මව්වරුන්ට තවමත් නිවාඩු ලබාදීලා තියනවා.

නමුත් රාජ්‍ය අංශයේ බොහෝ ආයතන වල ආයතන ප්‍රධානින් වහාම ඔවුන්ට සේවයට වාර්ථා කරන ලෙස දන්වලා තියනවා. සෞඛ්‍ය සේවයේ පරිපාලන සේවයේ බැංකු සේවයේ නියුතු සියළුම අම්මලා මේවනවිට ආයතන ප්‍රධානින් සේවයට කැදවනවා. නමුත් ඔවුන් එහි කිසිඳු වගකීමක් ගන්නේ නෑ. රටේ තත්වය තවම යහපත් අතකට පත්වෙලා නෑ.

සේවයට එන සේවක සේවිකාවෝ පොදු ප්‍රවාහන සේවා වල ගුලිවෙලා සේවයට එන්නේ. ඒ අතරේ ගැබිණි මව්වරුත් ඒ විදියට සේවයට එන්නේ. මේ අයට ඉන්න තත්වයත් එක්ක ඇගේ තිබෙන ප්‍රතිශක්තිකරණය ඉතාම අඩුයි. ඔවුන්ට වෛරසය ශරීර ගතවෙන්න තියන අවධානම ඉතාම අධිකයි.

එක ආයතනයක වැඩිම වුනොත් ගැබිණි මව්වරු පහක් හයක් ඉදියි. පෞද්ගලික ආයතන තාමත් රජයේ ප්‍රතිපත්තියේ ඉද්දි රජයේ ආයතන කරන මේ ක්‍රියාව අනුමත කරන්න බෑ.

අපේ රටේ සම්පතක් ගැබිණි මව්වරු. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය රට පුරාම ව්‍යාප්ත වෙනවා. ගැබිණි මව මේ ව්‍යසනයෙන් බේරගන්න ඕන. කුසට මාස එකද? තුනද? පහද? නමයද කියන එක නෙමෙයි ප්‍රශ්නය. ඒ ජීවිත දෙකම මේ ව්‍යසනය හමුවේ බේරගන්න ඕන.

අපි දන්නා තරමට රජය කිසිදු චක්‍ර ලේඛණයකින් ගැබිණි මව්වරු සේවයට කැදවන්න පියවර අරගෙන නෑ. ආයතන ප්‍රධානින්ගේ අත්තනෝමතික ක්‍රියාව අපි තරයේම හෙලා දකිනවා.

නිවෙස් වල ආරක්ෂිතව හිටපු ගැබිණි මව්වරු කීපදෙනෙකුම මේ ව්‍යසනය හමුවේ අකාලයේ මිලින වුණා. ඒ නිසා මේ තත්වය හමුවේ ගැබිණි මව්වරුන් තවදුරටත් සේවයට කැදවන්න එපා කියලා රාජ්‍ය ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටිනවා වගේම ජනාධිපතිතුමා ඇගමැතිතුමා හා අමාත්‍යවරුන් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන යනුවෙන් ඔවුන් පැවසූහ.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම