මුතුරාජවෙලට අත තියන්න එන්න එපා! – කාදිනල් හිමියන්

මුතුරාජවෙල රක්ෂිතයේ ප්‍රේරණ කලාපයෙහි අක්කර 100ක් ගොඩකරමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය යළිත් හොර රහසේම ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

උන් වහන්සේ පවසන්නේ මුතුරාජවෙලට අත තියන්න එපා කියා ජනතාව කියා සිටියදී දැන් ආයෙත්මත් හොර රහසේම බෆර් සෝන් එකක් වෙන මෙම කලාපයේ අක්කර සීයක් මුහුදු වැලි වලින් ගොඩකර කරමින් පවතින බවය.

බෆර් සෝන් එක තුල අක්කර 100ක් ගොඩකරනවා කියන්නෙ මේ මිනිස්සුන්ට බෝට්ටුවක් අරන් තියාගන්න වෙනවා ගෙදර මීට පස්සෙ ඔය පැත්තෙ ඉන්න හැමෝටම. ඇයි ? එක්කෝ පීනන්න දැනගන්න ඕනෙ, නැත්නම් බෝට්ටුවෙන් යන්න පුරුදුවෙන්න ඕනෙ යැයි උන් වහන්සේ පවසයි.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් රජයට අවධාරණය කර සිටින්නේ රට අයිති ජනතාවට බවය. මේ බව රජයක්, ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, මැති ඇමතිවරු මතක තියාගත යුතු බවද පවසන උන් වහන්සේ කියා සිටින්නේ ඒගොල්ලන්ට අවුරුදු පහකට ඒකෙ බාරකාරීත්වය පමණක්  ලබාදී ඇති බවය.

ඒ නිසා ජනතාවගේ කැමැත්ත නැතුව හිතුවක්කාර විදියට ව්‍යාපෘති කරන්න ඒගොල්ලන්ට  බලයක් දී නැති බවත් මුතුරාජවෙල ගොඩ කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශයට භාර නොදුන් බවත් ජනාධිපතිතුමාටත් එහෙම බලයක් නොදුන් බවත් සිහිතබා ගත යුතු බවද උන් වහන්සේ පවසයි.

උන් වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (05) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

-ශානි-

Social Sharing
නවතම