මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සිදුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – රුවන් විජයවර්ධන

සියළු ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත්වීම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධනට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඊයේ  දින (04) නිවේදනයක් නිකුත් කරමිනි.

ඔහු ඒ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කරන මාධ්‍යවේදීන් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන් පසුගිය කාලය පුරාම රාජ්‍ය තන්ත්‍රය වෙතින් හා උසස් පොලිස් නිලධාරීන් ගේ දෝෂදර්ශනයට ලක්වූ ආකාරයත්, ඔවුන්ට වක්‍රාකාරයෙන් තර්ජනය කරන ආකාරයත් නිරීක්ෂණය වූ බවය. එම නිසා මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය පුරාම පෙනී සිටියා මෙන්ම අනාගතයේදීත් පෙනී සිටින බව ඒ මහතා පවසයි.

මාධ්‍යවේදීන් දැඩි පීඩාවකට ලක් කළ සාපරාධී අපහාස නීතිය, නීති පොතෙන් ඉවත් කිරීමට කැපවුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව අද බොහෝ දෙනෙකුට අමතක බවත් නමුත් ඉතිහාසයේත්, වර්තමානයේත්, අනාගතයේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ නිදහස පිළිගන්නා පක්ෂයක් ලෙස එය ආරක්ෂා කිරීමට ද කැපවෙන බව රුවන් විජයවර්ධන මහතා කියා සිටියි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

එම නිසා මේ මොහොතේ මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසට එල්ලවන බාධාවන් පක්ෂයක් ලෙස අප තරයේ හෙළා දකිමු. නිදහස් අදහස් ප්‍රකාශ කරද්දී බලපෑමට ලක් වූ කණ්ඩායමට අලුතින්ම එකතුවී ඇති සාමාජිකයා මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන මහතා ය.

ඒ ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පසුගිය 01 දා දැක්වූ ප්‍රතිචාරය ය. එම ප්‍රතිචාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට නොගැලපෙන්නක් බව අපගේ අදහසයි. තරිඳු ජයවර්ධන මාධ්‍යවේදීයා පුවත්පත් කලාවේදියෙකු ලෙස මෙන්ම තරුණ මාධ්‍යවේදියෙකු ලෙසත් නොබියව අදහස් ඉදිරිපත් කරන්නෙකි. එමෙන්ම ඔහු ජනතාවට සත්‍ය තොරතුරු බෙදාහරින්නෙකු ලෙස ද මාධ්‍යවේදීන් අතර පිළිගැනීමක් ඇත්තෙකි. ඔහු ප්‍රධාන කර්තෘ ධූරය හොබවන www.medialk.com ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළ කළ පුවතක් ෆෙස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ද බෙදා හැර තිබේ. එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළ කරුණු දැක්වීම් බලන කළ ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අනියම් බලපෑමක් කර ඇති බව පැහැදිලිව පෙනී යයි.

එම නිසා අප රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ හතරවන රාජ්‍ය ලෙස සැලකෙන මාධ්‍යවේදීන්ට ඔවුන් ගේ කාර්යභාරය නිදහසේ කරගෙන යාමට ඇති ඉඩ කඩ සලසා දෙන ලෙසය. මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන මහතා සිය වෙබ් අඩවියේ වැරදි පුවතක් පළ කර ඇති නම් හෝ අපහාසයක් කර ඇති නම් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට මෙන්ම නීතිමය පියවර ගැනීමට ද හැකියාව ඇත. එය එසේ තිබියදී අනියමින් හෝ නියමයෙන් බලපෑම් කිරීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැත. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු මෙලෙස කටයුතු කිරීමෙන් පහළ නිලධාරීන් ද මෙම තරුණ ජනමාධ්‍යවේදියා වැරදිකරුවෙකු ලෙස පූර්ව නිගමනයක සිට කටයුතු කිරීමට ඇති සම්භාවිතාවය ඉහළ ය. එමනිසා මෙය ජනාධිපතිවරයා හා ආණ්ඩුව වහාම මැදිහත්ව නිවැරදි කළ යුතු කාරණයකි.

එසේ නොකර මාධ්‍යවේදියා ගේ පන්හිඳ නිදහසේ හැසිරවීමට බාධා කරන්නේ නම් අපි ඊට එරෙහි වන්නෙමු. එමනිසා අප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන් හා මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාරණය පිළිබඳව විධිමත්, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමට කැපවන ලෙසයි. තව ද සියළු ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත්වීම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ වගකීමක් බව ද සඳහන් කළ යුතු ය. තරිඳු ජයවර්ධන මහතා මේ වන විට ගොනු කර ඇති පැමිණිල්ල වෙනුවෙන් සෘජුව මැදිහත්වී ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන මෙන් අප පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ගෙන් ඉල්ලා සිටිමු.

Social Sharing
නවතම