මහජන වෙනසකට සුදුසුම වාතාරවරණ දැන් එළැඹිලා – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

අධිකරණ 100 කට යනවාට වඩා පාර්ලිමේන්තුවේ නගන එක් ප්‍රශ්නයකින් සමාජයට බලපෑම් කළ හැකි බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.

පොලීසියට යන හොඳ පුද්ගලයෙක් වුණත් මාස 06 ක් යන විට පරණ පොලිස්කාරයෙකු බවට පත් වෙන බවත් ඊට හේතු වන්නේ පොලීසිය තවමත් යල්පැන ගිය ක්‍රම භාවිතා කිරීම නිසා බවද ඒ මහතා පවසයි.

අද ඉහළ නිලධාරීන් පවා පහළ පොලිස් නිලධාරීන්ට බලපෑම් කරනුයේ සැකකරුවන්ට වදහිංසා කර තොරතුරු ලබා ගන්නා ලෙසට බවත් එහෙව් රටක වදහිංසාවේ අඩුවක් පොලිසියෙන් බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු කියා සිටියි. මේ නිසා අද අපි ගතියට පත් පුරවැසියන් බවට පත්ව ඇතැයිද හෙතෙම පවසයි.

මේ වදහිංසනය පිටු දැකීමට උද්ඝෝෂණ, ප්‍රචාර දියත් කළද සමාජයේ මතයක් මේ සඳහා ගොඩනැගිය නොහැකි බව පෙන්වා දෙන ඔහු පවසන්නේ නමුත් මේවාට මෙය සෘජුව දේශපාලඥයින්ට බලපෑම් කළ හැකි බවය.  පාර්ලිමේන්තුවේ මේ වදහිංසාව පිලිබඳ නගන එක් ප්‍රශ්නයක් අනෙක් මන්ත්‍රීවරුන්ටද බලපාන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ තමන්ගේ ඡන්ද ගැන සිතා හෝ මන්ත්‍රීවරුන් මේ ගැන කථා කරන තැනට පෙළඹන බවය. එය අධිකරණ 100 කට යනවාට වඩා සමාජයට බලපෑම් කළ හැකි බව අවධාරණය කරන ඔහු පවසන්නේ අප මේ තැනට සමාජය ගෙන යා යුතු බවය.

මහජන වෙනසක් සඳහා සමාජය ගොඩනැගිය හැකි සුදුසුම වාතාවරණය දැන් එළැඹ ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ පහුගියදා මාතර දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ පැවති වදහිංසාවද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් යන මැයෙන් යන සංවාදයකදීය.

-ශානි-

Social Sharing
නවතම