රංජන් රාමනායකටත් ජනාධිපති පොදු සමාව දෙන්න බැරි ඇයි? – කරූ ජයසුරිය

ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති,  හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියේ ඔහු ඉල්ලා ඇත්තේ ගතහැකි නීත්‍යානූකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදා ගනිමින් රංජන් රාමනායක ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට සලකා බලන ලෙසටය.  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරඳඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර දණහිසේ ආබාධයක් උග්‍ර අතට හැරීම හේතුවෙන් පසුගියදා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි. මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව MRI Scan පරීක්ෂණයකට භාජනය කිරීමටද නියමිතව තිබුණි.

කරාපිටිය රෝහලේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින ඒ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු දවස පුරා යොදවා ඇත.

කරූ ජයසුරිය මහතා පවසන්නේ දකුණු ආසියාවෙම ප්‍රසිද්ධියක් ලබා ඇති ජනප්‍රිය රංගන ශිල්පියෙක් නිසා ඔහු පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන ලෙසටය. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

අප දන්නා තරමට ඔහු චිත්‍රපට සියයකට ආසන්න සංඛ්‍යාවක රගපා තිබෙනවා. සරසවිය හා OCIC යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිනමා සම්මාන උලෙළවල හොදම නළුවා ලෙස ඔහු සම්මානයට පාත්‍රව තිබෙනවා.

ඒ වගේම පසුගිය වසර ගණනාවකම ඔහු ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නළුවා ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා.ඒ වගේම චිත්‍රපට ගණාවක්ම ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. පුද්ගලයෙක් වශයෙන්ද ඔහු ඉතාමත් නිහතමානී අයෙක් වනවා.

මේ රටේ නිතර අසන්නට ලැබෙන වංචා දූෂණ කිසිවෙකට හෝ ඔහු හවුල්වී ඇති බවක් අප අසා නෑ. ඒ වගේම ඔහු අපරාධකරුවෙක් ද නොවේ. ඒ අනුව ඔහු අද පත්ව සිටින ඉරණම පිළිබදව අපද අවධානය යොමුකරනවා.

අධිකරණයට ඔහු විසින් සිදුකරන ලැබුවේය කියන අපහාසයට මේ වන විටත් ඔහු වන්දි ගෙවා තිබෙනවා. ඒ ගැන අප ප්‍රශ්ණ කරන්නට යන්නේ නෑ. නමුත් ඔහුට ලැබී තිබෙන දඩඬුවම මෙතරම් බරපතළ වියයුතුව තිබුණේද කියන ප්‍රශ්ණය සමාජය තුළ තිබෙනවා.

අධිකරණ ක්ෂේත්‍රය තුළත් ඒ පිළිබදව සංවාදයක් පවතිනවා. මෙවැනි වරදවලට අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල, විශේෂයෙන් ඉන්දියාවේ ශේෂ්ඨාධිකරණය මගින් මේ මෑතකදීත් ලබාදී තිබෙන දඩුවම් පිළිබදව සලකා බැලිමේදීත් මෙම කරුණට අදාලව සංවාදයක් අප රටතුළ ඇතිවීම යහපත් දෙයක් ලෙස අප සලකනවා.

ඒ කෙසේ නමුත් අප දන්නා අකාරයට මේ වනවිට රන්ජන් රාමනායක මහතා බන්ධනාරය තුළ කල්ගෙවන්නේ යහපත් සෞඛ්‍ය තත්වයකින් නොවේ. ඒ නිසා ඔහුට ලබාදී ඇති මෙම දඩුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්න යැයි අප සියළුම පාර්ශවයන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගරු ජනාධිපතිතුමාගෙන් මෙහිදී අප ඉල්ලා සිටින්නේ ඒ ගැන අවධානය යොමුකරවන ලෙසයි. බොහෝ අයට අදාළව උණුවී ඇති එතුමාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණුවෙත්වා යයි එහිදී අප ප්‍රාර්ථනා කරනවා. ජනාධිපති සමාව යටතේ එතුමාට ගතහැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් ඒ පිළිබදව සලකාබලන ලෙස අප ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙය රන්ජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා.

-ශානි-

Social Sharing
නවතම