ළමා අපයෝජන ගැන සැකපිට ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකු කොටුවේ!

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතුවලට මිලදී ගැනීමේ චෝදනාව යටතේ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සහා නියෝජිතයකු හා ප්‍රසිද්ධි ව්‍යාපාරිකයකු ද ඇතුළුව තවත්  සැකකරුවන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ ජුනි 30 වැනි බදාදා අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ද සිටින බවයි.

බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට අනුබල දීමේ චෝදනා යටතේ ස්වාමීන්වහන්සේ නමක් හා දැන්වීම් නිර්මාණ ශිල්පියකු ඇතුළු පිරිසක් පොලිස්  මීට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබුනි.

පොලීසිය නිවේදනය කර තිබුනේ  ගල්කිස්සේදී පහලොස් හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතුවලට මිලදී ගත් හා ඊට අනුබල දුන් සැකකරුවන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මාධ්‍ය වෙත පවසා තිබුනේ අත්අඩංගුවට ගත් පිරිස අතර දැරියගේ මව, දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ, චීවරධාරියකු, දැරිය යම් යම් පුද්ගලයන් වෙත සැපයූ ත්‍රිරෝද රථයක රියැදුරෙකු සහ මෝටර් රථ රියැදුරෙකු ද සිටින බවයි.

පොලිසිය මීට ඉහතදී අත්අඩංගුවට ගත්  සැකකරුවන් 17 දෙනා අතර අතර දැරිය අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයට වෙළඳ දැන්වීමක් නිර්මාණය කළ පුද්ගලයෙක් ද වේ.

ලිංගක කටයුතු සඳහා බාල වයස්කාර දැරිය මිලදී ගත් තවත් විස්සකට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් සඳහන් කර තිබේ.

වයස අවුරුදු 16 ට අඩු දැරියක ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික ක්‍රියාවක යොදා ගැනීම මෙන්ම අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස විකිණීම අපරාධ නීතිය යටතේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙයි.

අන්තර්ජාලය ඔස්සේ මෙම බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ ප්‍රධාන සැකකරු පසුගිය ජුනි 9 වනදා ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබුනි.

මේ අනුව දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීම, මිලදී ගත් හා ඊට අනුබල දීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන්  සංඛ්‍යාව 21 කි.

දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ ප්‍රධාන සැකකරු  ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දැරිය රඳවා ගෙන ඇයගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ කරමින් ලිංගික කටයුතු සඳහා අලෙවි කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා මීට ඉහතදී සදහන් කර තිබුනි.

අත්අඩංගුවට ගත් 35 හැවිරිදි සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Social Sharing
නවතම