“අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන්න එපා” ජනතා නීතිඥයෝ  සජිත්ට දන්වයි!

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති වන ආකාරයට  කටයුතු කළ බවට ලෝක සමාජ මාධ්‍ය දිනයේ දී  විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී තිබේ.

ඊට හේතුවී ඇත්තේ පැහැරගෙන ගොස් උසාවියට ඉදිරිපත් කරන ලද ප්‍රමුඛ පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාධරයකු වෙනුවෙන් සමගි ජන බලවේගය නීතිඥ සහාය ලබා දුන් බවට විපක්ෂ නායකයා මුහුණු පොතේ පල කළ සටහනකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් ජනතා නීතිඥයෝ සංවිධානය දැනුම් දී ඇත්තේ ඔහුගේ එම පළ කිරීම හේතුවෙන් තම සංවිධානය මෙන්ම නීතිඥවරුන්ද බලවත් අපහසුතාවයකට පත්ව ඇති බවයි.

නීතිඥ නාමල් රාජපක්ෂගේ අත්සනින් යුතුව යොමු කර තිබෙන ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ජුනි 26 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ඇප ලබා ගැනීම සදහා ජනතා නීතිඥයෝ සංවිධානයේ සේනක පෙරේරා, මංජුල පතිරාජ, මංජුල ශ්‍රී චන්ද්‍රසේන, නාලක ප්‍රියවංශ, ලලිත් පතිරණ යන නීතිඥවරුන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඇප නියම කළ බවයි.

“මෙසේ තිබියදී එදින හවස් වරුවේ ඔබගේ මුහුණු පොතේ පෝස්ටුවකින් සදහන් කර තිබුනේ අසේල සම්පත් මහතා වෙනුවෙන් සමගි ජන බලවේගයේ නීතිඥවරුන්ගේ සහාය ලැබී තිබුණු බවයි.”

Sajith Premadasa lawyers forum of the people

සජිත් ප්‍රේමදාස සඳහන් කරන ආකාරයට අසේල සම්පත්ට  ඇප ලබා ගැනීම සදහා ඉදිරිපත් වු ඉහත කී නීතිඥවරුන් කිසිවෙක් සමගි ජන බලවේගයේ නීතිඥවරු නොවන  බව පෙන්වා දෙන නීතිඥ නාමල් රාජපක්ෂ විපක්ෂ නායකයාට වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ ඔහු සදහන් කරන ආකාරයට සමගි ජන බලවේගයේ කිසිදු නීතිඥවරයෙක් ඉහත කී නීතිඥවරුන්ට අමතරව එදින අධිකරණයේ පෙනී නොසිටිය බවයි.

එසේ තිබියදී විපක්ෂ නායකගේ  මුහුණු පොතේ මේ ආකාරයට පෝස්ටුවක් ඉදිරිපත් කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති වන ආකාරයට කටයුතු කිරීමෙන් සිය සංවිධානය මෙන්ම එහි නීතිඥවරුන්ද බලවත් අපහසුතාවයට පත්ව ඇති බව දැනුම් දෙන ජනතා නීතිඥයෝ විපක්ෂ නායකගෙන් ඉල්ලා ඇත්තේ මුහුණු පොත ඔස්සේ ඉදිරිපත් කරන ලද එම පෝස්ටුව නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

 

Social Sharing
නවතම