සැකකරුවන් මිය යාම සම්බන්ධ පරීක්ෂණ කිරීමට වෙනම ඒකකයක් අවශ්‍යයි – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

තමුන්ගේ භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව හා වගවීම සම්බන්ධයෙන් පොලීසියට වගකීමක් තිබෙන අතර පොලිස් අත් අඩංගුවේ පසුවෙන පුද්ගලයෙකු පොලීසිය අතින් මරණයට පත් වුණොත් එය පිළිබඳව වෙනම පොලිස් ඒකකයක් විසින් විමර්ශනය කළ යුතු නමුත් කණගාටුවට කරුණ ඔවුන් වෙනුවෙන් පරීක්ෂණ පවත්වන්නේ එම ඝාතනය සිදු කළ පොලිස් ස්ථානය විසින්ම බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරීස් මහතා පවසයි.

එසේම ඒ මහතා පෙන්වා දෙන්නේ පොලිස් භාරයේ සිටින අයෙකු මරණයට පත් වුනොත් ඒ පිළිබඳව අපක්ෂපාතී, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු නමුත් අවාසනාවට ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ක්‍රියාත්මක නොවන බවත් ඒ වෙනුවෙන් පොලිස් ඒකකයක්  ලංකාවේ නොමැති බවත්ය.

පසුගිය කාලයේදී නිරන්තරයෙන් දක්නට ලැබුණු සිද්ධියක් වුයේ  පොලිස් අත්අඩංගුවේ පසුවන්නන් පොලීසිය අතින්ම ඝාතනය වීම බවත් මේ තත්වය හේතුවෙන් නීතිය පසදලීමේ දී අධිකරණ පද්ධතිය තුළ සිදුව ඇති තත්වය පිළිබඳව අප අවධානය යොමු කළ යුතුව ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

පසුගිය මැයි මාසයේ දින දෙකක් තුළදී පාතාලයට අදාළ බව කියන  සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි වෙනත් පොලිස් ඒකකයකට ලබා දීමෙන් පසුව  ඝාතනය වු බව සිහිපත් කරන ඒ මහතා පවසන්නේ රජය භාරයේ සිටින සැකකරුවන් ආරක්ෂා කරන්න රජයට යුතුකමක් ඇති බවය.

අවස්ථා කිහිපයකදීම ශ්‍රේෂ්ඨාධිකරණය මේ පොලීසිය භාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කළ යුතු බව පිලිගෙන ඇති බවද නිදසුන් සහිතව සිහිපත් කර සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ වදහිංසනයට ලක් වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් කොවිඩ් වසංගතය තුල වදහිංසනයේ වසංගතයට ඉඩ නොතබනු යන මැයෙන් අද (26) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය. මෙය වදහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබු අතර සංවාදය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

-නදීක දයා බණ්ඩාර-

Social Sharing
නවතම