හමුදාවෙන් පාර්ලිමේන්තුවට බලය පවරා ගන්න ලෙස හිටපු අගමැති ඉල්ලයි!

මාරාන්තික වසංගතය පාලනය කිරීම සදහා යුද හමුදා ප්‍රධානියාගේ නායකත්වය යටතේ පිහිටුවා තිබෙන කාර්ය සාධක බලකාය සම්පුර්ණයෙන්ම අසාර්ථක බවට හිටපු අගමැතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

“මේ කාර්ය සාධක බලකාය එක්ක ඉදිරියට යන්න බැහැ. අසාර්ථක වෙලා තියෙන්නේ. මේක වැඩි වෙලයි තියෙන්නේ,” යි එක්සත් ජාතික පක්ෂ නායකයා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ නායකත්වය යටතේ ආණ්ඩුව බලයට පත් වූ පසු මුල්ම වතාවට පාර්ලිමේන්තුව අමතමිනි.

රටේ පාලන කටයුතු සදහා යුද හමුදාව යොදා ගැනීම රට හමුදාකරණයකට ලක් කිරීමක් බව මන්ත්‍රීවරයකු ලෙස ඊයේ (23) උදෑසන දිවුරුම් දීමෙන් පසුව ඔහු  පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලෙස පසුගිය අගෝස්තුවේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කරනු ලැ‌බුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

ඉන් අනතුරුව මේ අවුරුද්දේ ජනවාරියේ දිවයින පුරා සෞඛ්‍ය කටයුතු භාරව හමුදා නිලධාරීන් 25 දෙනකු පත් කරන ලදී.

යුද අපරාධ චෝදනා එල්ලවීම නිසා එක්සත් ජනපදය පවා තහංචි දමා ඇති හමුදා සෙන්පතියකුට නිල ගැසට් නිවේදනයක් පවා නිකුත් නොකර කොවිඩ් මර්දනය බාරදීම ගැන ජාත්‍යන්තර මානව හිමිකම් තලයේ දැඩි විරෝධය පලවිය.

පසුගිය මහ මැතිවරණයේදී  එක්සත් ජාතික පක්ෂයට හිමිවු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා අවුරුද්දකට  වැඩි කාලයකට පසු පත් කෙරුණු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද  දිවුරුම් දුන්නේය.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා රජය ගෙන යන වැඩ පිළිවෙල සිය පළමු කතාවෙන්ම  දැඩි දෝෂදර්ශනයට ලක් කළ හිටපු අගමැතිවරයා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටතින් කටයුතු කරන බවටත් ආණ්ඩුවට චෝදනා කළේය.

සිවිල් පරිපාලනය ඉක්මවා මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම පිළිබඳව අනතුරු ඇඟවූ ඔහු පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් කියා සිටියේ කොවිඩ් මර්දන කටයුතු කැබිනට් මණ්ඩලය යටතේ ක්‍රියාත්මක  විය යුතු බවයි.

” අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕන කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වග කියන පාර්ලිමේන්තුවට.  ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්නේ නැත්තේ” ජ්‍යෙෂ්ඨ ජනතා නියෝජිතයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රශ්න කළේය.

ආණ්ඩුව  පාලනය කිරීමේ බලතල ඇත්තේ කැබිනට් මණ්ඩලයට පමණක්  බව  සිහිපත් කරදීම සදහා එක්සත් ජාතික පක්ෂ නායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ සදහා  බලතල පවරා ඇති වගන්තිද සදහන් කළේය.

එම වගකීම් බාර ගන්නා ලෙස හිටපු ජනපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියේය.

හමුදාපති යනු දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් බව පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් ප්‍රශ්න කළේ ලේකම්වරුන්ට නියෝග ලබා දීමට යුද හමුදාපතිට ඇති බලතල මොනවාද යන්නයි.

” ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමැති තුමන්ලට නැත්නම් කැබිනට් මණ්ඩලයට පමණයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්වය අනුව. ඇයි මේ බලතල ක්‍රියාත්මක නොවෙන්නේ.”

පසුගියදා පැවැති ආයෝජන මණ්ඩලයේ සාකච්ඡාවක් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අමතනු ලැබීමද එක්සත් ජාතික පක්ෂ නායකයාගේ දැඩි විවේචනයට ලක් විය.

හිටපු අගමැතිවරයාගේ ආණ්ඩුව යටතේ හමුදාපති ධුරයට පත් කරනු ලැබූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ 57 වැනි උපන් දිනය ඊයේට යෙදී තිබුණි.

Social Sharing
නවතම