පොසොන් දොරේ ගලා යයි – දුමින්ද ද සිල්වා නිදහස්!

මරණ දඬුවම හිමිව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

පොසොන් පොහොය නිමිත්තෙන් අද (24) දින ඔහුව මෙලෙස නිදහස් කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව, මරණ දඬුවම නියමවී සිටි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වාට,  යම් සහනයක් ලබාදීම යෝග්‍ය බවට නිර්දේශ කර සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ, දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසිනි.

එම කොමිසමට අනූව දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකරන ලද නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනා වලින් ඔහුව නිදොස් කොට නිදහස් කළ යුතුව තිබිණ.

ඒ අනුව කොමිසමේ නිර්දේශය වුනේ, දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලියක ගොදුරක් වූ දුමින්ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීම කරන කොටගෙන ඔහුට සිදුවූ හානිය සඳහා පැමිණිලිකරුට යම් සහනයක් ලබාදීම යෝග්‍යා බවයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිවයෙන් යුතු මෙම ත්‍රී පුද්ගල ජනාධිපති කොමිසම ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ 2020 ජනවාරි මස 09 වනදා. මීට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ  දුමින්ද සිල්වාගේ පියා වන අරුමාදුර වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා විසිනි.

මේ අතර බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් 93 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබා දෙමින් නිදහස් කර තිබෙන අතර ඊට ත්‍රස්තවාදී චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා සිටි සැකකරුවන් 16 දෙනෙකුද විය. මේ සිරකරුවන් 93 නා අතරට දුමින්ද සිල්වා ත් ඇතුලත් කර මෙලෙස නිදහස් කර ඇත.

මීට පෙරද ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පෙත්සමක්ද අත්සන් කර තිබුණි.

Social Sharing
නවතම