හම්බන්තොට පොලිසියෙන් පහර දීමක්

හම්බන්තොට, බැල්ලගස්වැව ග්‍රාම නිළධාරී වසමට අයත්, නන්දමිත්‍ර ගම්මානයේ, අංක 03 දරණ ලිපිණයේ පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන්, විවාහක දෙදරු පියෙකි. ඔහු සිය ජීවිකාව සපයා ගැනීමට ගරාජයක් පවත්වාගෙන යයි.

එම ගම්මානයේම  පදිංචිකාරියක වන, තමරා කෞෂල්‍ය විසින් තාරුක ලක්ෂාන් ඇතුළු තිදෙනකු විසින් පසුගිය දිනක තමාහට බැන තර්ජනය කල බවට හම්බන්තොට වරාය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.

එය අසත්‍ය පැමිණිල්ලක් බවත් අදාළ පැමිණිලිකාරිය, ගම්මානයේ පදිංචි බහුතරයක් සමග නිතර රන්ඩු සරුවල් ඇතිකර ගනිමින් ඇය විසින්ම හම්බන්තොට පොලීසිය වෙත ගොස් බොරු පැමිණිලි දමා එම පොලිස් ස්ථානයේ රාජකාරියේ නියලෙන සමහර පොලිස් නිළධාරින් මාර්ගයෙන් ගම්වාසීන් හට මානසික හා ශාරීරික අඩංතේට්ටම් කරවීම විනෝදාංශය කරගත් තැනැත්තියක් බවත් මෙම වින්දිතයන් පවසා සිටී.

ඇය කරන ලද පැමිණිල්ල අනුව හම්බන්තොට වරාය පොලීසියේ නිළධාරියකු විසින් දූරකථනයෙන් දැනුම් දී ඇත්තේ අදාළ පැමිණිල්ල වීභාග කිරීම සදහා තාරුක, මධුරංග, මංජු සහ චානක යන අයහට හම්බන්තොට වරාය පොලිසියට පැමිණෙන ලෙසයි.

එකී පුද්ගලයින් හම්බන්තොට වරාය පොලීසිය වෙත එදින උදේ 09.00 වනවිට ගොස් ඇති අතර එහි දී තමරා කෞෂල්‍ය යන අය දයාරත්න රාලහාමි සහ එස්.අයි මහත්මයෙකු සමග කථා කරමින් හිද, එම නිළධාරින්ට තමන්ව පෙන්නූ බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

පසුව එම උප පොලිස් පරීක්ෂකවරයා තමන්ව ඔවුන් සිටි ස්ථානයට කැඳවා, තරුක ලක්ෂාන් යන අයගෙන් නම කුමක්දැයි යි විමසූ බවත් නම පැවසීමෙන් පසු උඹ තමයි මට අවශ්‍ය මිනිහා කියා අසභ්‍ය වචනයෙන් බැණ වැදී ගෑණුන්ට පාට් දමනවා ද කියා විමසමින් මුහුණට පහරවල් කීපයක්  ගැසූ බවත් පවසා සිටී.

ඒ අවස්ථාවේ දී තොළ පැලී ලේ ගලා ඇති  අතර මට ගහන්න එපා මං වරදක් කර නැහැ මගේ තොල පැලිලා කියා පැවසූ පසු ඔහුව පුටුවක් මත වාඩි කරවා ඔළුවට මුහුණට සහ ඇඟට අතින් පයින් පහරදී තිබේ.  ඉන්පසු ඔහු සිරමැදිරියට දමා ඇත.

ඉන්පසු 9:30 නමයයි 45 පමණ වන විට දයාරත්න රාලහාමි සිරමැදිරිය තුළට පැමිණ උඹ චණ්ඩියෙක් ද කියා විමසමින් සිර මැදිරියේ කොන්ක්‍රීට් බැම්ම උඩ තබාගෙන නැවත වතාවක් මූණට ඔළුවට සහ ඇඟට අතින් පහර දී ඇත.  ඒ වෙලාවේ තමරා කෞෂල්‍ය යන අය ඔහු සිටි සිර මැදිරිය ආසන්නයේ සිට මේ නිළධාරියා පහර දෙන ආකාරය බලා සිට ඇත.

එදින දහවල් 12.30ත් 01.00ත් අතර කාලයේ දයාරත්න රාලහාමි විසින් තාරුක නම් පුද්ගලයා සිර මැදිරියෙන් පිටතට ගෙන පැමිණිලි විභාග කරන ස්ථානයට රැගෙන ගොස්, සටහනක්  පොතක ලියා අත්සන් කරන්නැයි ලබා දී ඇත. “ මම එහි අත්සන් කලා, මට කියවා තේරැම්කර දූන්නේ නෑ, එහි මොනව ලියා තිබුනද කියා මම දන්නෙ නෑ , ඒ වෙලාවේ ඒ ස්ථානයේ මා සමග පොලීසියට ගිය තිදෙනා සහ තමරා කෞසල්‍ය යන අයත් හිටියා. ඊට පස්සෙ මට නැවතත් එස් අයි මහත්තය විසින් බැනවැදී ගැණුන්ට පාට් දමලා අහුවෙන්න එපා, මාස ගානකට ඇතුලට යවනවා.” කියා බැන වදිමින් යන්නට කිවූ බවත් හෙතෙම පවසයි.

මෙම පහරදීම නිසා මෙම තැනැත්තාගේ තොල් පැලී දතකට හානි සිදු වී තිබේ. මේ සම්බන්ධව ඔහු විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පතිවරයාට මේ සම්බන්ධව පැමිණිළිකර ඇති බව වාර්තා වේ.

Social Sharing
නවතම