අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම IGP ට ලියයි.

කොරෝනා වසංගත තත්ත්වයක් තුල පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පහුගිය ජුනි 02 දා මඩකලපුවේදී අත්අඩංගුවට ගත් චන්ද්‍රන් විදුෂන් (21) නැමැති තරුණයාට පොලිසිය පහර දුන් බවට ඔහුගේ ඥාතීන් පවසා සිටියි. නමුත් මරණ පරික්ෂණයේදී හෙලිව ඇත්තේ ඔහු අයිස් නැමැති මත්දුව්‍ය පැකට් 04 ක් ගිලිමෙන් සිදු වූ මරණයක් බවය. මෙම තීන්දුව විදුෂන්ගේ දෙමාපියන් පිළිගන්නේ නැත. මේ නිසා ඔවුන් යළිත් වරක් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ පුතුගේ දේහය ගොඩගෙන සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙසටය.

මේ අතර නිරෝධායන නීති කඩ කරමින් ඥාතී නිවසකට ගිය බව කියන පානදුර මොහොමඩ් අලිඛාන් ජුනි 06 දා පොලිස් අත්අඩංගුවට ගෙන ජීප් රියේ දමාගෙන පොලිසියට රැගෙන එමින් සිටියදි ඉන් බිමට පැනිමෙන් තුවාල ලබා මිය ගොස් තිබුණි. ඔහුගේ මරණයට හේතු ලෙස සඳහන් වුයේ ඇද වැටීමෙන් සිදු වු මරණයක් බවටය.

මෙම මරණ දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එහි 14 වගන්ති ප්‍රකාරව  විමර්ශනයක් ආරම්භ කරමින් පොලිස්පති C D වික්‍රමරත්න මහතා වෙතද ලිපියක් යොමු කර ඇත. එහි සඳහන් කර ඇත්තේ මෙම අදාල පුද්ගලයන් දෙදෙනා පොලිස් භාරයේ සිටියදී මිය යාම මෙන්ම අත්අඩංගුවේදී කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිල්ලකට ලක් වී ඇති බවටද වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇති බවය.

එසේම පසුගිය දින කිහිපයක් තුළ පොලිස් භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබදව ගැටලු පැන නැගී ඇති බව කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කර ඇති බවත් ලංකා ශ්‍රී  මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය ජගත් බාලසුරිය මහතා පවසා ඇත.

පොලිස් භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබදව දිගින් දිගටම මෙවැනි සිදුවීම් වාර්තා වීම පුරවැසියන්ගේ පුද්ගල නිදහසට තර්ජනයක් මෙන්ම රට තුළ මහජන ආරක්ෂාවේ බිදවැටීමක් ද නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියා සිටින අතර ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් තුළ මෙවැනි සිදුවීම් දිගින් දිගටම වාර්තාවීම නීතියේ ආධිපත්‍ය කෙරෙහි ජනතාවගේ පවතින විශ්වාසය බිද වැටීමක්ද පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අදහසය.

ඒ නිසා  මීට ඉහතදී ලිපි මගින් දැන්වු වාර්තා වලට අමතරව මෙවැනි තත්වයන් නැවත සිදුවීම වැලැක්වී සදහා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබදව ජුනි 13 දිනට පෙර ශ්‍රී ලංංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ආචාර්ය ජගත් බාලසුරිය පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

එසේම  මෙහි පිටපත් ආරක්ෂක අමාත්‍යාංශය වෙතද යොමු කිරිමට මානව හිමිකම් කොමිසම පියවර ගෙන ඇත.

 human rights commission in sri lanka

-ශානි-

Social Sharing
නවතම