රෝහල් වල ඔක්සිජන් අවශ්‍යතාව වැඩි වෙලා! – GMOA අනතුරු අඟවයි.

දිනෙන් දින මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය මත යැපෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන නිසා ඉදිරියේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තා වීම වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ  ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ වෙන විට  මෙරට  රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 800ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය පසුගිය සතියට සාපේක්ෂව ක්‍රමිකව ඉහළ යාමක් බවය.

මැයි මාසයේදී දකුණු ආසියානු කලාපයේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් ආසාදිතයින් සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටි අතර  සාමාන්‍යයෙන් ගත් විට එය 400% ක ඉහළ යාමක් ලෙස සඳහන් වූ බවත් තම සංගමය පසුගිය මැයි මාසය ආරම්භයත් සමග ලංකාවේ මරණ සංඛ්‍යාව ඉහළ  යා හැකි බව අනතුරු අඟවා සිටි බවත් දැන් එය සත්‍ය වෙමින් පවතින බවද ඔහු කියා සිටියි.

එසේම වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව දෛනිකව මරණ සංඛ්‍යාව 26ක අගයක් ලෙස පෙන්නුම් කලත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබෙන කොවිඩ් දත්ත රැස්කිරීමේ මධ්‍යස්ථානයට අනුව දෛනික මරණ සංඛ්‍යාව 38ක් ලෙස දැක්වෙන බවත් අවධාරණය කරන ඔහු පවසන්නේ  කෙසේ නමුදු පසුගිය මාසයේ පෙන්වූ කොවිඩ් මරණ සංඛ්‍යාවට වඩා අද වන විට මරණ වාර්තා වෙමින් පවතින බවය.

-ශානි-

Social Sharing
නවතම