“ජනතාව කොරෝනාවෙන් හෙම්බත් වී ඇත, මැතිවරණ ක්‍රම සංශෝධනය කල් දමන්න” – පැෆ්රල් ඉල්ලයි.

මැතිවරණ  ක්‍රමයේ සංශෝධන වෙනුවෙන් උනන්දුවක්  දක්වන සංවිධාන හෝ පුද්ගලයින්ට තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම  සඳහා 2021 ජූනි මස 19 වන දින දක්වා කාලසීමාව  ලබාදී ඇතත් කොරෝනා වසංගත තත්වය හමුවේ  මේ පිළිබඳව ජනතාවගේ ප්‍රමාණවත් අවධානයක් යොමු වේදැයි  සැක සහිත බව පැෆ්රල් සංවිධානය පවසයි.

උපරිමයෙන් ජනතා අභිලාෂයන් නියෝජනය වන  මැතිවරණ  ක්‍රමයක් සැකසීමට නම් ඒ සඳහා නිරවුල් මනසකින් යුතුව සංවාද කිරීමටත් එකී සංවාදයන් හරහා වඩා දියුණු  ලක්ෂණ වලින් සමන්විත මැතිවරණ ක්‍රමවේදයක් සකස් කරගැනීමත් ප්‍රමාණවත් කාලසීමාවක් අවශ්‍ය  නමුත් කොරෝනා වසංගතය ඉතාමත් අවාසනාවන්ත අයුරින් සියලු ප්‍රමුඛතාවයන් පසෙකට දමා තම ජීවිත බෙිරාගැනිම වෙනුවෙන් වන  වෙනස්ම ආකාරයේ අරගලයකට ජන ජීවිත ඇද දමා තිබෙන බව පැෆ්රල් සංවිධානය මැතිවරණ ක්‍රමයේ සංශෝධනයන් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති දිනේෂ්  ගුණවර්ධන  මහතා වෙත ලිපියක් යවමින් අවධාරණය කර සිටියි.

මැතිවරණ  සහ ජන්ද විමසීම් ව්‍යුහය නීති රීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සොයා බලා සංශෝධන  ඉදිරිපත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු  තේරීම් කාරක සභාවක් පත්කිරීම  දිගුකාලයක සිට සමාජය ඉල්ලා සිටි කාලීන අවශ්‍යතාවයකි.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පුමුඛතම මැතිවරණ නිරීක්ෂණ  සංවිධානය ලෙස අප හටද  දිස්ත්‍රික් මට්ටමින් සංවාද පවත්වමින් වෙනදා සිදුකල අයුරින් පුරවැසියන්ගේ යෝජනා තේරීම් කාරක සභාව වෙත ලබාදීමට කොරෝනා වසංගත තත්ත්වය ප්‍රබල බාධාවක් වී තිබෙන බවත් මෙය මෙවැනි දරුණු ගෝලීය වසංගත තත්වයක් තුළ අපට පමණක් නොව උනන්දුවක් දක්වන සියලු, සංවිධානවලටද එකසේ බලපාන අභියෝගයක් බවද මෙම ලිපියෙන් පෙන්වා දී ඇත.

ඒ නිසා මේ පිලිබඳ වහා අවධානය යොමු කොට කොරෝනා වසංගත තත්ත්වය යම් මට්ටමකට පාලනය, වනතෙක්  මහජන අදහස් ලබාගැනීමේ කර්තව්‍යය  ප්‍රමාද කරන ලෙසත් එසේ කල නොහැකි වන්නේ නම් පුරවැසියන්හට ප්‍රමාණවත් සාධාරණ  කාලසීමාවක් ලබාදීම කෙරෙහි  ඔබ තේරීම් කාරක සභාවේ අවධානය යොමුකරන ලෙසත් පැෆ්රල් සංවිධනායේ විධායක අධ්‍යක්ෂ රෝහණ  හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් එම ලිපියෙන් ඉල්ලා ඇත.

-ශානි-

Social Sharing
නවතම